යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් වෙඩි වැදුණු සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පමණ පෙර කණ්ඩායමක් පහර දුන්නැයි ඔහු කළ පැමිණිල්ලක් විමර්ශනය කර නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ උපදෙස් පිට විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එම විමර්ශනයේ දී විවිධ කාරණා ගැන දැනටම තොරතුරු රැසක් ලැබී ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පෙර ‘ආවා‘ නමින් හඳුන්වාගත් කණ්ඩායමක් පහර දී ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවටත්, සිසුවා මිය යන තෙක්ම පොලිසිය එම පැමිණිල්ල ගැන විමර්ශනයක් පවත්වා නොමැති බවටත් ලද තොරතුරක් ගැන ද විමර්ශනයේ දී අවධානය යොමු වී තිබේ.
සිරුරේ වෙඩි සලකුණු ඇතැයි අනාවරණය වූ සුලක්ෂන් සිසුවා යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ සිසුවෙකි. යාපනයේ සම්මානනීය නළුවකු වන ඔහු ප්‍රධාන චරිතයට පණ පොවන චිත්‍රපටයක් 2015 යාපනය සිනමා දැක්මේදී මුල් තැනට පැමිණ තිබිණි.
සුලක්ෂන්ගේ සහෝදරියක මීට මාස හතරකට පමණ පෙර විදේශ ගත වී ඇතැයි ද, ඇය විදේශ ගත වීමට පෙර දින ඇය විදෙස් ගත නොකරන ලෙස දන්වමින් ආරක්ෂක අංශයකින් යැයි කියා ගත් පිරිසක් සුලක්ෂන්ට දුරකථන ඇමැතුම් දී ඇතැයි ද, ඊට පසු අවස්ථාවක ආරක්ෂක අංශයේ යැයි කියා ගත් පිරිසක් 2009 දී අතුරුදන් වූ බව කියන සුලක්ෂන්ගේ අයියා ගැන තොරතුරු සොයා නිවසට පැමිණි බවට ද මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබේ.
මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය ගැනත්, මේ වන විට ලැබී ඇති තවත් විශේෂ තොරතුරු ගැනත් මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන පවත්වාගෙන යයි.
කොමිසම සුලක්ෂන්ගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.