ආවා 11කට ඇප


ආවා නමින් කණ්ඩායමක් නිර්මාණය කර උතුරු පළාතේ විවිධ නීති විරෝධී කටයුතු වල යෙදුණු බව කියමින් රිමාන්ඩ් කරනු ලැබ සිටි 11 දෙනකු අද (30) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරි විනිසුරුවරිය ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කළාය. සෑම මසකම දෙවැනි ඉරිදා යාපනය රහස් පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියම කැරිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට නඩු නොපවරන බවත් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් සංසරණය යන චෝදනා ගොනු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

ආවා නමැති අයකුගේ මූලිකත්වයෙන් යාපනයේ තරුණ පිරිසක් සම්බන්ධ කරගනිමින් ආවා කල්ලිය නිර්මාණය කරගෙන තිබූ අතර ඔවුහු පසුගිය දිනවල උතුරු පළාතේ විවිධ මංකොල්ලකෑම් හා පහරදීම්වලට සම්බන්ධවූ බව කියති.