ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් කරන්න යයි


 

(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල-දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර 100 පිරෙන 2021 වසරේ දී පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේ අද (29) පැවති නිළධාරි හමුවක දී අමාත්‍යවරයා ඒ බව පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ආරාධනාවකට පැමිණි අමාත්‍යාවරයා එම ප්‍රදේශයේ සංචාරය කර පාලම සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ලෙස එය ජාතික උරුමයක් බවට පත්කිරීමට කටයුතු කර තිබේ.

1921 දී උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ ඉදිකළ පාලම දිගින් අඩි 300ක් ද, පළලින් අඩි 25ක් ද , උසින් අඩි 80ක් ද වේ.

ආරුක්කු නවයේ පාලම ගල්, ගඩොල් හා සිමෙන්ති වලින් නිර්මාණය කර තිබේ. මෙම පාලම 'අහස් නවයේ පාලම' නමින් ද හඳුන්වනු ලැබේ.