ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග 27 දා සිට


ප‍්‍රධාන පෙලේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී විවෘත පිරිමි සහ කාන්තා අංශ වලින් කේවල සහ යුගළ කාණ්ඩයන්ට අනුව තරග පැවැත්වෙන අතර වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම කේවල සහ යුගළ තරග පැවැත්වේ. ප‍්‍රථම වරට මෙම වයස් කාණ්ඩ තරග, ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා යොදා ගැනීමටද සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මීට අමතරව ජේෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් අවුරුදු 35 න් ඉහළ කාන්තා, 40 න් ඉහළ පිරිමි සහ 50 න් ඉහළ පිරිමි යන වයස් කාණ්ඩ වලින්ද කේවල සහ යුගළ තරග පැවිත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලියේ සියලූ තරග ජාතික ශ්‍රේණිගත කිරීම් පළමු කාණ්ඩය යටතේ පැවැත්වේ. තරගාවලියේ ත්‍යාග සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 5 කි.

තරගාවයලියට අදාල අයදුම්පත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයෙන් සහ බැඞ්මින්ටන් සංගම් වෙබ් අඩවියෙන් ලබාගත හැක. අයදුම්පත් භාරගැනීම මේ මස 19 වැනිදා අවසන්වේ.
(*)