මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන අඩු පාඩු සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයන්ට සාධාරණයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලින් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු 10 දෙනෙක් එහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙවර ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු කිහිපයක් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විභාග කොමසාරිස්ට ලිඛිතව දන්වා ඇති බව ද, උත්තර පත්තර ඇගයීමේ දී ඒ අඩුපාඩු සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බව ද , ඒ නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසම අසළ දී මාධ්‍යයට අදහස් දක්වමින් ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.
‘මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු ඇති බව ප්‍රශ්න පත්‍රය ලබා දුන් දිනයේ සිටම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දුන්නා. මේ අඩුපාඩු නිසා ළමයින්ට ලකුණු 15ක් පමණ අහිමි වන බව කියමින් ආචාර්යවරුන් විභාග කොමසාරිස්ට ලිපියක් යැව්වා.
උත්තර පත්තර පරීක්ෂකයන්ගේ රැස්වීමේ දී ඒවා හරි ආකාරයට සාකච්ඡාවට බඳුන් වුණේ නෑ. දැන් ආර්ථික විද්‍යාව ඇගයීම් ඇරැඹිලා. ඇගයීම් අවසන් වන්නට මෙය විභාග කර දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අපි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලනවා. ‘



