ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ තීන්දුව සති දෙකකින්


මෙවර අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇතැයි හඬ නැගූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් සකස් කර දින තුනක් ඇතුළත විභාග කොමසාරිස්ට භාර දීමටත්, ඉන් පසු විභාග කොමසාරිස් එම ගැටළු සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්දැයි ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව සමඟ සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අද (22) පැවැති සාකච්ඡාවක දී තීරණය විය.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇති ගැටළු නිසා සිසුනට ලකුණු 15ක් අහිමි වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් කරුණු ඉදිරිපත් කළ ද විභාග දෙපාර්තමේන්තුව ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව කියමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, නීති ලේකම් නිමල් පුංචිහේවා, කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහත්වරුන් ඉදිරියේ අද (22) එම පැමිණිල්ල කැඳවනු ලැබීය.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, මහාචාර්ය අතුල රණසිංහ, මහාචාර්ය අනෝමා අබේරත්න, ආචාර්ය ප්‍රසන්න පෙරේරා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන නන්දසිරි කීඹියහෙට්ටි සහ චන්දික ගුණසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්  මානව හිමිකම් කොමිසමේ පැමිණිලි විභාගයට පැමිණ සිටියහ.

එහි දී පැමිණිලිකරු වන ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා කීවේ උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇති ගැටළු නිසා සිසුන්ගේ ලකුණු 15ක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව කියමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 10 දෙනෙකු ජනපතිට ද පිටපතක් සහිතව විභාග කොමසාරිස්ට ලිපියක් යවා ඇති බවයි.

ආර්ථික විද්‍යා  ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන ගැටළු සම්බන්ධයෙන් එහි ගොස් සිටි විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළහ.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා එහි දී කියා ඇත්තේ උත්‍තර පත්තර ඇගයීමේ රැස්වීමේ දී ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකියාව තිබූ බවයි.

ආචාර්යවරුන් කියා තිබුණේ ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි.

උදේ 10.40 සිට දහවල් 1.15 පමණ වන තෙක් විභාගය පැවැත්විණි.

පැමිණිලි විභාගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ සිසුන්ට ආසාධාරණයක් නොවන පරිදි බලධාරීන් කටයුතු කළ යුතු බවයි. ප්‍රශ්න පත්‍රයේ වැරදි ඇතැයි කියමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් කරන කාරුණු සම්බන්ධයෙන් මීට පෙර නිසි අවධානයක් යොමු කළේ නම් මෙවන් තත්ත්වයක් ඇති නොවන බව ද ඔහු කීවේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පැවසුවේ මෙවර ප්‍රශ්න පත්‍රයේ පමණක් නොව  ලකුණු දීමේ පටිපාටියේද ගැටළු ඇති බවයි. ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ ද කීවේය.

‘මෙවර ප්‍රශ්න පත්‍රයේ පමණක් නෙමෙයි ලකුණු දීමේ පටිපාටියෙත් ගැටළු තියෙනවා. අපි මේ ගැන මානව හිමිකම් කොමිසමේදී දිගින් දිගටම කරුණු දැක්වුවා. ඉන් පසු එකඟතාවයකට ආවා මේ ගැටළු සම්බන්ධ වාර්තාවක් අපි විභාග කොමසාරිස්ට හා මානව හිමිකම් කොමිසමට ලබා දෙන්න. ඉන් පසු ඒ ගැන විභාග කොමසාරිස් ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුවේ අදහස් විමසා විභාග කොමසාරිස්ගේ වාර්තාව සතියකින් මානව හිමිකම් කොමිසමට භාර දෙනවා. ඉන් පස්සේ මානව හිමිකම් කොමිසම  අපි දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බලා විභාග අපේක්ෂකයන්ට සාධාරණයක් වන පිරිදි දෙසතියකින් තීරණයක් ගැනීමට අද එකඟතාවයකට පැමිණියා.‘

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙසේ කීවේය.

‘උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබුණා. අපට හැකි වුණා මේ දෙපාර්ශ්වයම එකම මේසයක් මතට ගේන්න. පැය ගනණක් මේ ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියන එක ඒ දෙපර්ශ්වයේ පැත්තෙන්ම තීරණයක් ගන්න පුළුවන් වුණා. ඒ අනුව සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය නොවන පරිදි කටයුතු කරන්න හැකියාව ලැබේවි. විශේෂයෙන් ඉදිරියේදී මෙවැනි ගැටළු ඇති නොවීමට මෙය වැදගත් වේවි.‘