ආර්ථික ප්‍රශ්න පත්තරේ ලෙඩේට විද්වතුන්ගෙන් බේත්


‍උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අද (11) පැවැති උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ රැස්වීමේ දී ගුරුවරුන් ඉදිරිපත් කළ තර්ක හමුවේ ආර්ථික විද්‍යා ප්‍රශ්න දෙකකට ලකුණු ලබා දීමට තීරණය වූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ලකුණු දෙකක් ලබා දීමට තීරණය වූ බවට තමාට ද නිල නොවන ලෙස දැනගන්නට ලැබුණු බවයි.

ප්‍රශ්න පත්‍ර සකස් කළ විද්වතුන් එය නිවැරදියැයි කොතෙකුත් කීවත් ගුරුවරුන්ගේ තර්ක විතර්ක හමුවේ ඇතැම් දොස්  පිළිගැනීමට සිදුවන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය එය බවත්, ළමයින්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.

රාජගිරිය ජනාධිපති විද්‍යාලයයේ පැවැති එම රැස්වීමට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීම් කරන ගුරුවරු 1061දෙනෙක් කැදවනු ලැබ සිටියහ.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇති බව කියන තැන් කිහිපයක් සම්බන්ධයෙන් ගුරුවරු තර්ක විතර්ක කළහ. ගුරුවරුන්ගෙන් පිරිසක් එතැනින් පිටව යෑමට ද සැරසුණු බව ගුරුවරු කිහිප දෙනෙක් කීහ.

මේ අතර ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන දෝෂ නිසා සිසුනට ලකුණු 15ක් ලබා දිය යුතු බව කියමින් ආචාර්ය මහාචාර්යවරු දස දෙනෙක් ජනපතිට පිටපතක් සහිතව ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ප්‍රධාන පාලක පරීක්ෂකට ලිපියක් යැවූහ.

ප්‍රශ්න පත්‍ර දෙකෙහි පාඩම් ඒකක අතර බර තැබීමේ දෝෂ ඇති බවත්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 25 සහ 33 ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙක බැගින් ඇති බවත්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 8 සහ 23 ප්‍රශ්නවල දී ඇති වරණ අතර නිවැරදි පිළිතුරක් නැති බවත්, 38 වැනි ප්‍රශ්නයේ ද්වි භාෂා ගැටළුවක් ඇති බවත් එම ලිපියේ සඳහන්ය.

දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ද දෝෂ කිහිපයක් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

Letter-to-Controlling-Chief-Examiner-in-Economics-(1)-1