ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්


නිමන්ති රණසිංහ

කප්පම් ගැනීම සඳහා තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකාර ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත්  නේවි සම්පත්  හට සැඟවී සිටීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට භාරවූ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද  නියෝග කළේය.

මෙම සැකකරුට ඇප ලබා දුන හොත් විමර්ශනයට සහ සාක්ෂිකරුවන්ට බාධවන බවට අධිකරණයට පෙනී යන බැවින් ඇප පනතේ 14 වැනි වගන්තිය ප‍්‍රකාරව සැකකරුට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් මහේස්ත‍්‍රාත්වරයා එලෙස සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එමෙන්ම, සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයා වෙත  නියෝගයක් නිකුත් කළ අධිකරණය සැකකරුට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම සදහා සුදුසු පියවර ගන්නා ලෙසට ද නියම කළේය.

තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව අද (28) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී දෙවැනි සැකකරු වූ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජනාධිපති නිතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා මගින් අධිකරණයට භාරවිය. එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි  සැකකරු ලෙසට එම තැනැත්තා නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා,සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ පොලිස් පරීක්ෂක ඉලංගසිංහ යන නිලධාරීහු වැඩිදුර වාර්තාවක් ද සමග අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව :-  නාවික හමුදාපතිවරයාව සිටි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා   හිටපු ලූතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නාවික හමුදා නිලධාරී නිවස්නයේ නේවාසිකව රැඳී සිටීමට ඉඩසලස්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඉකුත් සැප්තැම්බර් මස 10 වැනි දින ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා. එහිදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයෙන් අප වෙත දැනුම් දීමක් කරනු ලැබුවා ඔහු මෙක්සිකෝ රටට රාජතාන්ත‍්‍රික කටයුත්තක් සදහා ගොස් ඇති බවට. ඒ වගේම ඒ මාසේ 18 වැනිදා නැවත පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙනු ලබන බවත් දැනුම් දි තිබුණා. ඉන්පසු අපි  න් සිදුකළ විමර්ශනයට අදාළව කිහිප අවස්ථාවකදීම ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව අධිකරණයෙන් තුන් වතාවක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඉකුත් 27 වැනිදා උදේ 10ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙමින් බී.එම්.අයි.සී.එච් පරිශ‍්‍රයේ ඇති ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයට ලිපියක් යොමු කරනු ලැබුවා. එය භාරගනු ලැබුවේ ඔහුගේ ලේකම්වරයා වූ කපිතාන් පී. ජී. ජේ. ජී. සමරනායක මහතා විසින්.  ඒත් අදාළ දිනයේ ඔහු අප දෙපාර්තමේන්තුව වෙත පැමිණීයේ නැහැ. පසුව එදින දහවල් 12.15ට පමණ මෙහි ප‍්‍රධාන විමර්ශන නිලධාරී නිශාන්ත සිල්වා විසින් අදාළ කපිතාන්වරයා වෙත දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයනේ විමසා තිබෙනවා.   එහිදී එම නිලධාරියා සඳහන් කර ඇත්තේ ‘අපි හිතුවා කට උත්තර ගන්න ඔයා මෙතනට එයි කියලා. ඔයාට කවුරුත් උපදෙස් දුන්නේ නැද්ද?’ යනුවෙනුයි. එහිදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සදහන් කර තිබුණේ තමන්ට එවැනි උපදෙසක් කිසිවකු හෝ ලබා නොදුන් බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලා සඳහන් කරන බවට එම කපිතාන්වරයා සඳහන් කර තිබුණා. පසුව නැවතත් දුරකතන ඇමතුමක් ලබාදුන් එම කපිතාන්වරයා සඳහන් කර තිබුණේ පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටයි මේ සම්බන්ධයෙන් දැනුම් දිලා තියෙන්නේ කියලා. ඒත් විමර්ශන නිලධාරීයා මේ කිසිවක් දන්නේ නැහැ ස්වාමිණී.

අධිකරණය :- එන්න කියලා ආවේ නැත්නම් ගිහිල්ලා අත්අඩංගුවට ගන්නනේ තිබුනේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව :-  ස්වාමිණී, මෙම සැකකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 109 (6)  වගන්ති උල්ලංඝණය කළ බවට විමර්ශන නිලධාරියා සම්බන්ධයෙන් පියවර ගන්නා ඔබට තුමන්ගේ අධිකරණය විසින් ඉකුත් නඩු දිනයේදී අපට දැනුම් දෙනු ලැබුවා.

මෙහිදී නිල ඇදුමෙන් සැරසී සිටි හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විත්ති කූඩුව ආසන්නයේ සිටි අතර,  ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා එය අධිකරණයේ අවධානයට යොමු කළේය.

අධිකරණය :- අද ඔහු අධිකරණයට පැමිණ සිටිනවාද?

ජනාධිපති නිතීඥවරයා:- එසේය ස්වාමිණී ඔහු පැමිණ සිටිනවා.

අධිකරණය :- රටේ නීතියට ගරු කරන්න  ඕනෑ. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරුනු පැහැදිලිව තිබෙනවා. ඇයි එහෙනම් මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලයි විමර්ශන නිලධාරින්ගෙන් ඇහුවේ. මේ රටේ මිනිස්සුන්ට  පොලීසිය ඕනෑ තරම් බොරු නඩු දානවා. ඒ මිනිස්සු ඒවා ඇවිල්ලා කියන්නේ අත්අඩංගුවට ගත්තාට පස්සේ. ඇයි මේ සැකකරුට විශේෂයක් පෙන්වලා තිබෙන්නේ. නඩුවට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් කරුණු ඇති බවට පැමිණිල්ල විසින් මුල සිටම වාර්තාකර ඇති කරුණු වලට අනුව මෙම තැනැත්තා අද දින අධිකරණයට ඉදිරිපත් වන බවට ජනාධිපති නිතීඥවරයා අධිකරණයට ප‍්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව මෙම තැනැත්තාට අධිකරණයට ඉදිරිපත් වීමට අවසර ලබා දෙමි.

(මෙහිදී හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විත්තිකූඩුවට නැග එහි සිටි පළමු සැකකරු වූ  ලක්සිරි අමරසිංහ යන අය පසෙකට තල්ලූකර දමා ඉදිරියට විත් සිටගනු පෙණිනි. මෙහිදී මහෙස්ත‍්‍රාත්වරයා සඳහන් කළේ මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වූයේ දැන් අධිකරණයට භාරවූ තැනැත්තා බැවින් ඔහුට නියමිත ස්ථානයේ සිටීමට පියවර ගන්නා ලෙසයි. පසුව නැවත ඔහු දෙවැනි සැකකරු ලෙස  විත්තිකූඩුවේ පසුපසට යනු පෙණීනි.)

සැකකරු නාවික හමුදා නිල ඇදුමින් සැරසී විත්තිකූඩුව වෙත නැගීම සම්බන්ධයෙන් ජනාධිපති නිතීඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා රාජකාරියට යමින් සිටියදී තමන් විසින් ඔහු අධිකරණයට පැමිණෙන ලෙසට දැනුම් දී ගෙන්වා ගනු ලැබූ බවයි. එහිදී මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු කුමන ඇඳුමකින් සැරසී පැමිණියේදැයි තමන්ට ගැටලූවක් නොවන බවයි.   අධිකරණයක් වෙත ඇඳිය යුත්තේ කුමන ඇඳුමක් ද යන්න සම්න්ධයෙන් ඔහු දැනගෙන සිටිය යුතු බව මහේස්ත්‍රාත්වරයා පැවසීය. මෙහිදී මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වශයෙන් හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නම් කර ලබන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව:- ස්වාමිණී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන නිලධාරීයා වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස්පති නියමයෙන් මාරුකරනු ලැබූ බවට ලිපියක් ලැබෙන්නේ ඉකුත් 18 වැනිදා. සේවා අවශ්‍යතාවක් මත වහාම මීගමුව කොට්ඨාසයට එම නිලධාරියා මාරුකර යවා තිබුණා.   පොලිස්පතිවරයා   මෙම නිලධාරියා සම්බන්ධයෙන් කරුණු තුනක් යටතේ වහාම වාර්තාවක් ඉල්ලා තිබුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබුවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම වෙතද   දැනුම් දෙනු ලැබුවා. පොලිස්පතිවරයා   සඳහන් කර ඇති අන්දමට මෙම විමර්ශන නිලධාරීයා එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවට සාධක නොමැති බවත්, නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු අපරාධමය චෝදනාවක් අනාවරණය නොවන බවත්,ඔහුගේ චර්යාව සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද පොලිස්පතිවරයා වෙත යොමු කර තිබුණා.

(මෙහිදී හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විත්තිකූඩුවේ සිට තමන්ට ප‍්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සඳහන් කළේය. එහිදී මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නිතීඥවරයා වෙත දැනුම් දුන්නේ අධිකරණයේ කටයුතු සම්බන්ධයෙන් සේවාදායකයාට උපදෙස් ලබා දෙන ලෙසයි.)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව :- සේවයේ අවශ්‍යතාවක් බවට සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින්ම එම ස්ථාන මාරුව අවලංගු කරනු ලැබුවා. ස්වාමිණී මෙම සැකකරු 2015 (4) අපරාධයක වින්දියන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති ප‍්‍රකාරව වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වනවා. මෙම නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වූ ලූතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි යන අයට නාවික හමුදා නිවස්නයේදී ඉකුත් 25 වැනිදින සවස ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පහරදුන් බවට කොටුව පොලීසිය වෙත පැමිණීල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව මෙම සැකකරු 1996 අංක 22 දරන තුවක්කු ආඥා පනතේ වරදක් මෙන්ම, 1994 අංක 22 දරන වද දීමට හා අනෙකුත් කෲර අමානුෂික අවමන් සහගත සැලකීම්වලට එරෙහි සම්මුතිවාදී පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බවටද අධිකරණයට කරුනු ඉදිරිපත් කරනවා.

ජනාධිපති නිතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා :- ස්වාමිණී, මෙම නඩුවේ මුලාරම්භය වන්නේ මගේ සේවාදායකයා සැකකාර හෙට්ටිආරච්චි යන අයට බෝට්ටුවකින් මෙරටින් පිටමං කළා කියලා. එය බොරුවක් බවට පත්වුණා එම සැකකරු අත්අඩංගුවට ගත්තාට පස්සේ. පස්සේ එම සැකකරුට සැඟවී සිටීමට අවකාශ සලසා දුන්නා කියලා සාක්ෂි දෙකක් පමත පදනම්ව තමයි මේ චෝදනා ගොනු කරලා තිබෙන්නේ. ගලගමගේ ලක්සිරි  සහ කෝදාගොඩ සුනිල් යන අයගේ සාක්ෂි මත. ඔය කියන ආකාරයට පොලිස්පතිවරයාට කිව්වා කියන කතා අපි ප‍්‍රතික්ෂේප කරනවා. ආරක්ෂක මාණ්ඩලික රැස්වීමේදී පොලිස්පතිවරයා වෙත එවැනි කතාවක් කිව්වේ නැහැ. ඒ වගේම කිසිම දුරකතන සංවාදයක් වුණෙත් නැහැ. කවුරු කාව මාරු කළාද කියලා මට අදාළ නැහැ. පොලිස්පති කවුරු හරි කියන දෙයක් කරලා නිලධාරීන් මාරු කරනවා කියලා කිව්වාට ඒක පිලිගන්න පුළුවන්ද?

අධිකරණය :- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීමෙන් ද කියන්නේ පොලිස්පතිවරයා සදහන් කරලා තියෙනවා කියලා මෙම දෙවැනි සැකකරු මෙහි විමර්ශන නිලධාරියාගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් වගකියන්න  ඕනෑ කියලා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව :- ඔව් ස්වාමිණී, පොලිස්පතිවරයා   ලිපියක් අප වෙත යොමු කර තිබුණා ඉතා රහසිතගතයි කියලා.

අධිකරණය :- කෝ ඒ ලියුම?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :- එම ලිපිය මේ වන විට අප දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. ඒ ලිපියේ පිටපතක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. ඉක්මනින් ඒ ලිපිය ඉදිරිපත් කරන්නම්.

ජනාධිපති නිතීඥවරයා :- ස්වාමිණී, මෙම නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වූ ලක්සිරි යන අයගේ කි‍්‍රයාකලාපය නාවික හමුදාවට නොගැලපෙන බවට සඳහන් කරමින් මේ වන විට විනය පරීක්ෂණයක් පවත්වනු ලබන අතර ඔහුගේ මානසික තත්ත්වය ද යහපත් නොවන බැවින් ස්ථාන මාරුවිම් සිදුකර ඇති නිලධාරීයෙක්. එවන් නිලධාරින් තමයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රධාන සාක්ෂිකාරයෙක් කරලා තිබෙන්නේ.

අධිකරණය :- මෙම සැකකරු මෙම නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරුට තර්ජනය කළැයි කියලා කොටුව පොලීසියේ පැමිණීල්ලක් තිබෙනවාද?

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව :- එසේය ස්වාමිණී. පැමිණීල්ලක් තිබෙනවා.

ඒ අනුව අදාළ පැමිණීල්ල සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නඩුව සවස 2. 15 තෙක් කල් තැබීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව නැවත සවස 3.00ට පමණ අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, කොටුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ගෆ්ෆාර් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ස්ථානාධිපතිවරයා:- ස්වාමිණී, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා  ගලගමගේ ලක්සිරි යන අය පැමිණීල්ලක් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ නාවික හමුදා නිවසන්නයේ නිලධාරීන් ඇතුලූ පුද්ගලයින් 7 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන  තිබෙනවා. තවදුරටත් විමර්ශනය සිදුකරගෙන යනවා.

අධිකරණය :- මෙම පැමිණීලිකරු අධිකරණයේ පවතින නඩුවේ සාක්ෂිකරුවෙක් ද?

පොලිසිය :- ඔව්. ස්වාමිණී,

අධිකරණය :- මෙම සිද්ධියේ පැහැර ගැනීමක් ගැන හෝ තර්ජනයක් ගැන තොරතුරු අනාවරණය වෙනවාද?

පොලිසීය :- තර්ජනයක් හෝ පැහැර ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙන්නේ නැහැ ස්වාමිණී. නමුත් අසත්‍ය පැමිණීල්ලක් කරලා කියලා කියන්නත් බැහැ.

අධිකරණය :- මෙම සිද්ධිය   සී සී ටී වී කැමරා දර්ශනවලට සටහන් වෙලා තියෙනවාද?

පොලසිය :-  විමර්ශන සටහන් වල තිබෙනවා. මෙම පැමිණීලිකරු එතැනින් දුවන දර්ශනයක් තිබෙනව  බවට සී සී ටී වී දර්ශනවල සටහන්ව තිබෙනවා.

අධිකරණය :- ඒවා ලබා දුන්නේ කවුද?

පොලිසිය :- තාම භාරයට ගත්තේ නැහැ. ස්වාමිණී සිද්ධිය වූ ස්ථානය මත්පැන් පානය කරන ස්ථානයක්. එම ස්ථානයේ සී සී ටී වී දර්ශන නැහැ. නමුත් ඉන් පිටත තිබෙනවා. මේ සිද්ධිය වෙලා තිබෙන්නේ සවස දෙකත් තුනයි විස්සත් අතර කාලයේදී.

අධිකරණය :- මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් සැකකරුවකු අනාවරණය වෙනවාද?

පොලිසිය :- සැකකරුවකු අනාවරණය වෙන්නේ නැහැ ස්වාමිණී, නමුත් පැමිණීල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වමින් සිටිනවා.

අධිකරණය :- මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලිකරු පොලීසිය වෙත පැමිණී විලාශය සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදුකළාද?

පොලිසීය :- නැත ස්වාමිණී. පැමිණිලිකරු පොලිසීයට ආවේ සවස හතරට විතර.

ජනාධිපති නීතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා :- ස්වාමිණී, මෙම පහර දීම  තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. උස්වැටකෙයියාව නාවික නිවස්නයේ තිබූ මංගල උත්සවයකට සහභාගී වෙමින් තමයි එදින මගේ සේවාදායකයා හිටියේ. එදින සවස 3. 30ට තමයි ඔවුන් එතැනින් නික්මෙලා තිබුනේ. ඒ සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ සී සී ටී වී දර්ශන පරීක්ෂා කර බැලිය හැකියි. එසේම, ස්වාමිණී මගේ සේවාදායකයා එදින ඇඳගෙන සිටියේ මංගල අවස්ථාවන්ට සහභාගී වන නිල ඇදුමෙන්. එම නිල ඇදුමට ගිනි අවියක් නිකුත් කර නැහැ. එමෙන්ම, ඔය කියන ලක්සිරි යන අයද එදින එම උත්සවයට සහභාගී වෙලා හිටියා ස්වාමිණී.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව පැවසුවේ කොටුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට   සිද්ධිය වූ ස්ථානය වෙත ගිය අවස්ථාවේදී නාවික හමුදා මූලස්ථානයට ඇතලූවීමට එම නිලධාරින් අවසර ලබා දී නැති බවයි.

කොටුව පොලීසිය :- නාවික හමුදා මුලස්ථානයට ඇතුලූවීමට ලිඛිත අවසරයක් අවශ්‍ය බවට දැනුම් දුන්නා. ඒ අනුව පසුදින තමයි එම ස්ථානයට ඇතුලූ වුණේ.

අධිකරණය :- රාජකාරියට බාධා කළා කියලා ඇයි අධිකරණයට කරුනු වාර්තා නොකළේ?

මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පතිවරයා එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ රහස්‍ය ලිපිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

(එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   විවෘත අධිකරණයේදී කියැවීය. පොලිස්පතිවරයා   අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඞී. ඩබ්ලිව්. ආර්. ඞී. සෙනෙවිරත්න මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත. එහි සඳහන් වන ආකාරයට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ  බවට ඉකුත් 13 වැනිදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙන්ම 16වැනිදා ජංගම දුරකතනයෙන් ද තමන් අමතා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  වෙත දැනුම් දෙන ලද බව සදහන් කර ඇත. එසේම, එම නිලධාරියා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියේ යොදවා ඇත්තේ කෙසේද යන්න තමාගෙන් දුරකතනයෙන් විමසූ බවත් එබැවන් සවිස්තර වාර්තාවක් වහාම ලබා දෙන ලෙසත් එම ලිපියේ පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.)

අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව :- ස්වාමිණී, නඩුව පසුව ගැනීමට තිබූ අවස්ථාවේදී මෙම සැකකරු සමග පැමිණී අය විසින් අධිකරණය ඉදිරිපිටදී  මාධ්‍යවේදීන්ට ප‍්‍රහාරයක් එල්ල කළා. මොවුන්ගේ මෙම හැසිරීම නිසා සැකකරුට ඇප ලබාදීමට තරයේ විරුද්ධ වෙනවා ස්වාමිණී.

ජනාධිපති නිතීඥවරයා :- සී අයි ඞී එකට විරුද්ධව සී අයි ඞී එකෙන්ම අහනවාද? එහෙනම් අහන්න තිබුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන්. පොලිස්පතිවරයා ඔය කියලා තියෙන විදිහෙන් පේන්නේ පොලිස්පරතිවරයා ඉන්න  ඕනේ අද මෙතැන් තුන්වැනි සැකකරු වෙලා. මොකද විමර්ශනයක් නවත්වන්න විමර්ශන නිලධාරීවරයා ස්ථානමාරු කළා නම් ඔහු ඒකට අධාර අනුබල දීලා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නිතීඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය:- ස්වාමිණී, මෙම සැකකරුට විශේෂ වරප‍්‍රසාදයක් හිමිවෙලා. අද දින මේ සැකකරු ඔබතුමන්ගේ ගරු අධිකරණයට භාරවෙලා සැකකරුවකු ලෙසට නම් කළාට පස්සේ නිල ඇදුම ගලවලා එන්න කියලා පිටත් වෙලා යනවා. ඒකට අධිකරණයෙන් අවසරයක් ගන්න  ඕනෑ. බන්ධනාගාරය භාරයේ ඉන්න  ඕන පුද්ගලයෙක් කොහොමද එහෙම යන්නේ. කාගේ බලයක් ද මේ සැකකරු මේ යොදවලා තිබෙන්නේ. ඒ වගේම තව සිද්ධියක් වුනා මේ අවස්ථාවේදීම. අධිකරණයේ මාධ්‍ය ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට මේ සැකකරු සමග පැමිණී නාවික හමුදාවේ පුද්ගලයින් විසින් පහර දෙනු ලැබුවා. මේ අධිකරණය ඉදිරිපිට වෙච්චි දේ තමයි මම කියන්නේ. ඒක අපි ඇස් දෙකෙන් දැක්කා. මොහුට ඇප  ලබා දුන හොත් නාවික හමුදාව තුළ මොනවා නොකරයිද?

අධිකරණය :- මෙම සැකකරු සිදුකර ඇත්තේ සංඥය වරදක්. එය වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක්. මෙම නඩුව සමහර නඩුවලට වඩා වෙනස් ආකාරයක් දිස්වුණා. ඇතැම් නඩුවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලබා ගන්නවා. මෙම සැකකරු හමුදාවේ ඉහළ නිලයක් නිසා නීතිපති උපදෙස් ලබා ගන්න පැමිණීල්ලට හැකියාව තිබුණා. එහෙත් මෙම නඩුවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි දැයි විමර්ශන නිලධාරියාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ ඔහුට විවිධ බාධාවන් ඇති බවයි. මෙම නිලධාරියාගේ ස්ථාන මාරුවට අදාළව පොලිස්පතිවරයා   ලබාදුන් රහස්‍ය ලිපිය අද අපරාධ පරීක්ෂණ දොර්තමේන්තුව ඉතාමත් අකමැත්තෙන් අධිකරණයට ඉදිරිපත් කළා. එම  ලිපියේ සඳහන් කරුනු සම්බන්ධයෙන් සැලකීමේදී මෙය කෙතරම් සාදාචාර සම්පන්න කි‍්‍රයාවක්ද යන්න  විමසිය යුතුව තිබෙනවා. තමා අත් අඩංගුවට ගැනීමට සිටින නිලදධාරියා සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීම පිළිබදව පොලිස්පතිවරයා වෙතින් දුරකතන මාර්ගයෙන් විමසීම අනුමත කළ නොහැකියි.

ඇප  පනත ප‍්‍රකාරව සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාරණා දෙකක් ඉදිරිපත් කර සිටිනවා. විමර්ශන නිලධාරීයාට නිදහසේ රාජකාරි සිදුකිරීමට ඉඩ නොදී ස්ථාන මාරු සිදුකිරීම, සැකකරු දැනට දරන නිලය සහ තනතුර හේතුවෙන් විමර්ශනයට බාධා ඇති කළ හැකි වීම යන කරුණුයි. මින් දෙවැනි කාරණය ඉතා බරපතල කාරණයක්. දැනට ලංකාවේ නීතියේ විශාල වර්ධනයක් ලෙස දැක්විය හැකි අපරාධයක වින්දිතයින් ආරක්ෂා කර ගැනීමේ පනතට අදාළව ව්‍යවස්ථාදායකයේ අරමුණ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමයි. ඒ අනුව මෙම නඩුවේ සාක්ෂිකරුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළා කියලා සාක්ෂි අනාවරණය වෙන්නේ නැහැ කියලා පොලීසිය කියනවා. එහෙත් නාවික හමුදා කඳවුරට ඇතුලුවී ස්වාධීන පරීක්ෂණයක් කරන්න ගිය කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට සිදුවූ දේ ප‍්‍රශ්න සහගතයි. දිනකට පසුව නිරික්ෂණයට ගියාම සාක්ෂි විනාශ වෙන්න පුලූවන්. කෙසේ වෙතත් විමර්ශනයට සහ සාක්ෂිකරුවන්ට බාධා වීම් සිදුවී ඇති බවට පෙනී යන බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමි.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වූ ලක්සිරි අමරසිංහ ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අතර,ඔහු ඉකුත් නඩු දිනයේදී රුපියල් දස දහසක මුදල් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත අධිකරණය විසින් මුදා හැර තිබිණී.

අපරාධකරුවකුට නවාතැන් පහසුකම් සැලසීම, රජයේ සේවකකයකුට අසත්‍ය තොරතුරු සැපයීම සහ නිල කටයුත්තක යෙදී සිටි රාජ්‍ය නිලධාරියකුට බාධා කිරීම යන චෝදනා යටතේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 209, 174, 183 වගන්ති ප‍්‍රකාරව හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අය වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේ 29වැනිදාය.

අධිකරණය හමුවේ පවතින බී 732 නැමැති පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන නඩුවේ ප‍්‍රධාන සැකකරු වූ  ලුතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි යන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක එම සැකකරුට නාවික හමුදා මුලස්ථානය තුළ රැදී සිටීමට හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන යන අය අවස්ථාව ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණී.

සැකකාර ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අය අවසන් වරට නාවික හමුදා මූලස්ථානයේ නවාතැන් ගෙන සිටින අවස්ථාවේදී ඔහුගේ කාමරයේ ආසන්නයේ නවාතැන්ගෙන සිටි නාවික හමුදා නිලධාරියකුගේ ප‍්‍රකාශයකට අනුව මෙම කරුණු තහවුරු වී ඇතැයි ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණය දැනුම්වත් කර තිබිණී.

ඡායාරූප - ගයාන් අමරසේකර