(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ එස් එස් සි ක්‍රීඩාංගනයට නිල ඇඳුමින් සැරසී පැමිණ එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අද (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
සැකකාර බ්‍රිගෙඩියර්වරයා නීතිඥවරයකු මාර්ගයෙන් බාරවීමෙන් අනතුරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟයකට පෙර සූදානමක් ඉකුත් 18 වෙනි දින එස් එස් සි ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අතර එම එක් පාසලක ආදි ශිෂ්‍යයකු වන සැකකාර බිගේඩියර්වරයා ඊට පෙර දින (17) දින රාත්‍රියේදී එම ක්‍රීඩාංගනය වෙත භාණ්ඩ වගයක් රැගෙන පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
එම භාණ්ඩ රැගත් වාහනය ක්‍රීඩාංගණයට ඇතුළු කර උඩුමහලකට එකී භාණ්ඩ රැගෙන යාම සඳහා විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බිගේඩියර්වරයා පවසා ඇති අතර එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා ආරක්ෂක නිලධාරියාට බැණ වැදි ඔහුගේ කණට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එම පහර දීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියාව බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරීයෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.