ආරක්ෂක අංශ පිළිබඳ එක්සත් ජාතීන්ගෙන් විවේචනාත්මක වාර්තාවක්


(රොයිටර් ඇසුරිනි - 055)

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය තවමත් බලහත්කාරකම් සහ වධ බන්ධන කරන බවට වාර්තාවන බවත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම් ස ම්බන්ධයෙන් විමර්ශන කරන නීතිය ක්‍රියාත්මක කරන අතරේම අතීතයේ සිදු වූ යුද අපරාධවලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව ද පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.

වසර 26ක් මුළුල්ලේ දෙමළ බෙදුම්වාදීන් සමඟ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී සිවිල් වැසියන් වැඩි වශයෙන් දෙමළ ජනතාව ඝාතනය කළ බවට ශ්‍රී ලංකා හමුදාවලට වැඩි වශයෙන් චෝදනා එල්ල වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මෙලෙස වැඩි වශයෙන් රජයේ හමුදාවලටත් එල්.ටී.ටී.ඊ සංවිධානයටත් චෝදනා එල්ල කරන අතරේ පීඩිතයන්ට සහන සැලැසිය යුතු බව ද අවධාරණය කරයි.

සිවිල් යුද්ධය සමයේදී කරන ලද අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා කාලය නිශ්චිතව සඳහන් කළ යුතු බව පසුගිය සතියේ ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තාවන බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් පෙන්වා දෙයි.

''බලය අධි භාවිතය, වද හිංසා පැමිණවීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු නියමිත නීති ක්‍රියාවලියට අනුකූලව කටයුතු කිරීමට පොලිසිය අසමත් වීම් වැනි සිදුවීම් තවමත් වාර්තා වනවා" යැයි එම වාර්තාවේ සඳහන් වේ.