ආයෝජකයන්ට ඉඩම් නිදහස් කරන්න අලුත් ආයතනයක්


 

(අංජුල මහික වීරරත්න)

ආයෝජන කාර්යයන් සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන  සතු ඉඩම් විධිමත් ලෙස බැහැර කිරීම සඳහා ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් සියයට අසූ දෙකක පමණ භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය රජය සතු අතර එකී ඉඩම් ආරක්ෂා කිරීම හා පාලනය කිරීම රජයේ ආයතන ගණනාවකට පැවරී ඇතැයි රජය පවසයි.

නව කර්මාන්ත හා සේවා ඇති කිරීම සහ නව රැකියා අවස්ථා සුලභ කළ හැකි ආයෝජන අවස්ථා දිරිගැන්වීම පිණිස සුදුසු විභවයක් සහිත ඉඩම් හඳුනා ගන්නා අවස්ථාවේ සිට ආයෝජකයන් වෙත පාරදෂ්‍ය ක්‍රමවේදයක් අනුගමනය කරමින් විධිමත් ඉඩම් නිදහස් කිරීම දක්වා නිසි බලතල සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය වී තිබෙන බවද රජය කියයි.

ඒ අනුව රජය හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම් ආයෝජකයන් වෙත නිදහස් කිරීමට අදාළව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්ගේ සභාපතිත්ව යටතේ අදාළ සියලු අමාත්‍යංශ වල හා ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විත ඉඩම් කළමනාකරණ බාරය ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.