ආයා කටුවෙන් තේ වතු හිමියාට විදුලි සැර වදී


බලංගොඩ, පින්නවල ෂර්වුඩ් තේ වත්තේ හිමිකරු වසරක් පුරා හොරෙන් විදුලිය ගැනීමට වරදකරු කළ බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඔහුට රුපියල් 1,23,56,362.62 ක් විදුලි බල මණ්ඩලයටද රුපියල් 50,000ක දඩයක්ද නියම කළේය.

මෑත ඉතිහාසයේ අනවසරයෙන් විදුලිය ගැනීම සම්බන්ධයෙන් පැනවූ ලොකුම දඩය මෙයයි. වත්තේ හිමිකරු එච්.එල්.රෙජී නිශාන්ත පෙරදින අත් අඩංගුවට ගෙන අද වනතුරු රිමාන්ඩ් භාරයට පත් කර සිටියේය. නිශාන්ත රුපියල් 1,50,000 ක ශරීර ඇප මත මුදාහරිනු ලැබීය.

විදුලි බල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරී පී.ජී.අජිත් වැටලීම මෙහෙයවීය. වත්තේ විදුලි කුටියේ ට්‍රාන්ස්ෆෝමරය අසල ආයා කටු ගසා 75%ක් විදුලි ගාස්තුව අඩු කිරීමේ වංචාව අල්ලාගත් බව අජිත් මහතා උසාවියට දන්වා සිටියේය.

මණ්ඩලයේ නිලධරයන් විදුලි කුටියට ගිය හැම අවස්ථාවලදීම ප්‍රධාන ගේට්ටුවේ පමා කිරීමේ රහස සොයාගත් බවත් ඒ අනුව මණ්ඩලය උපක්‍රමිකව ක්‍රියාකළ බවත් ඔහු උසාවියට දැන්වීය.