ජනමාධ්‍යයට තොරතුරු ලබා දීම සීමා කරමින් ආයතන සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කිරීම ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට අද (03) පැවසීය.
මාධ්‍යයට තොරතුරු ලබා දුන් බව කියමින් කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියක ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කිරීම වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව ගැන සහ තොරතුරු දැන ගැනීමේ පනත ගැන ද සලකා බැලීමට එම කමිටුව පත් කරන බව ද ඇමැතිවරයා කීවේය.
මූලික අයිතිවාසිකම් සීමා කරන ආයතන සංග්‍රහයේ වගන්ති ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමක් කළේය. ලංකා ගුරු සංගමයේ කාර්යාලයයේ දී තම දුක්ගැනවිල්ලක් මාධ්‍යයට කී කොළඹ මහානාම ගුරුවරිය අධ්‍යාපන අමාත්‍යංශය මගින් වැඩ තහනමට ලක් කළේ 2012 වසරේ දී ය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් සමග භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන පුළුල් කථිකාවක් ඇති විය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසිය.
රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේ තොරතුරු දැන ගැනීමේ පනත ද සම්මත වී ඇති නිසා ඇතැම් නීති රෙගුලාසි වෙනස් විය යුතු බවයි. තමා පත් කරම කමිටුවෙන් ඒ ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.