ආප්පය 40 යි කාමරය 12000 යි


කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ කියති. නවාතැන් ගාස්තුද දරාගත නොහැකි සේ හිටි ගමන් ඉහල ගිය බවද ඔවූහු පවසති. පොල් අතු මඩුවක් වැනි ස්ථානයකට විදුලි බල්බයකින් එළිය ලබා දී රැයකට රුපියල් 3000 ක් හෝ 4000 ක් අය කල බව වාර්තා වේ. දින කිහිපයකට පෙර රුපියල් 4000 ට වෙන් කළ කාමරය රුපියල් 12000 ක් පමණ අය කළ බවත් කතරගම පුද බිම අවට බොහෝ ගෙවල්, කඩ, ස්තෝප්පු වල නවාතැන් ගත් පිරිස් සිටි බවතා වාර්තා වේ.

 ආප්පයක් රුපියල් 40 කට (ආප්පයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් බව පාරිභෝගික අධිකාරිය කියයි) ද ප්ලේන්ටියක් රුපියල් 50 කට ද කරවල සමග කෑම පාර්සලයක් රුපියල් 250 කට අලෙවි වූ බොහෝ තැන් තිබූ බව කියති. අඟලක්වත් උසට කිරි නොතිබූ කිරි හට්ටියක් රුපියල්180 කට අලෙවි කළ බව ද කියති.

තම මිතුරන් වෙනුවෙන් කතරගම සිටින ඇතැම් හිතවතුන් රුපියල් 4000 ගණනේ වෙන් කළ කාමර අවලංගු කර වැඩි මිලට එමෙන් තුන් ගුණයකට පමණ මිලකට දී ඇතැයි දැනගන්නට ඇත. අලුත් වාහන වලින් කතරගම ගිය බොහෝ දෙනා සිටි බව කැපී පෙනිණි. පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රැපියල් 1000 ක් අය කළ තැරැවු කරුවන් සිටි බව කියති.