ආපදා වලින් 23 ක් මරුට



 
(විනීතා එම් ගමගේ)


දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් විවිධ ආපදාවලට ලක්ව 23 දෙනෙක් මිය ගොස් එක් අයෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 


තවත් 13 දෙනෙක් අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි. 


දිස්ත‍්‍රික් 20 ක පිරිස් ආපදාවට ලක්ව ඇති අතර 160000 කට ආසන්න පිරිසක් (පවුල් 43604 ක්) අවතැන්ව ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි. 


මේ වනවිටත් දිස්ත‍්‍රික් 8 ක ගංවතුර හා නායයෑම් වලින් අවතැන්වූ පවුල් 19519 ක් සුභ සාධන මධ්‍යස්ථාන 339 ක රැඳී සිටින බව ද ආපදා සහන මධ්‍යස්ථානයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් ලංකාදීපයට පැවැසීය. 


මියගිය පිරිස අතරින් 12 දෙනෙක් මිය ගොස් ඇත්තේ දියේ ගිලීම් වලින් බවත් අකුණු අනතුරු හේතුවෙන් පස් දෙනෙක්, පස්කඳු කඩා වැටීම් හේතුවෙන් තිදෙනෙක් හා  සුළං අනතුරු හේතුවෙන් දෙදෙනෙක් ද මිය ගොස් ඇති බව ද ඔහු පැවැසීය.


ගංවතුර, පස් කඳු කඩාවැටීම් හා නායයෑම්වලින් නිවාස 118 කට පුර්ණහානි සිදුව ඇති අතර තවත් නිවාස 5073 කට අර්ධ හානි සිදුව ඇතැයි ද හෙතෙම ස ඳහන් කළේය. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 165 ක් ද හානියට  පත්ව ඇතැයි එම  නිලධාරියා කීය.


ආපදාවට පත් පිරිස්වලට තවදුරටත් සහන සැලසීම සඳහා  යුද, නාවික, ගුවන් හමුදා නිලධාරින් සහ පොලිසිය හා සිවිල් ආරක්ෂක සේවා නිලධාරින් 1359 දෙනෙක් කටයුතු කරමින් සිටිති. නාවික හමුදා බෝට්ටු 49 ක් ගුවන් හමුදා හෙලිකොප්ටර් 7 ක්, බොට්ටු 59 ක් ද සහන සේවා සඳහා කටයුතු කරමින් සිටිති. 


කැලණි ගඟ ඇතුළු ප‍්‍රධාන ගංගාවන්හි ජල මට්ටම මේ වන විට සාමාන්‍ය මට්ටමට පත්ව ඇති අතර කළු ගඟ හා අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉතා සෙමින් අඩු වෙමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 


දිවයින පුරා වර්ෂාපතනය මිලි ලීටර් 100 ට වඩා අඩු වුවහොත් ගංවතුර තත්ත්වය අඩු වී යනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.


ආපදා සහන සේවා සඳහා රජය මිලියන 43.35 වෙන් කර ඇති අතර දිස්ත‍්‍රික් 12 ක දිසාලේකම් කාර්යාල හරහා ආපදාවට පත් පිරිස් සඳහා එම මුදල් වියදම් කරනු ඇත.