ආපදා වගා වන්දි 25ට පෙර ගෙවන්න


(අංජුල මහික වීරරත්න)

ව්‍යසන හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. 

පසුගිය සුළි කුණාටුව  රටටම එකවර මුහුණ දීමට සිදුවූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව මෙහිදී  පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හමුවේ බිද වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ මහත් කැපවීම අගය කළ අතර, එම කැපවීම නිසාම  විදුලිය ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින්  සැළකිය යුතු  ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ රජය පවත්වාගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සලැකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන ලෙසත් ඒ සඳහා පූර්ණ ලෙස මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.