ආපදා වගා වන්දි දෙසැම්බර් 30ට කලින්


(අංජුල මහික වීරරත්න)

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස  නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ අද (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.