කොළඹ ආනන්ද විද්‍යාලයයේ 12 ශ්‍රේණියේ සිසුවකුට පහර දුන් බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයකු ගැන විමර්ශන අරඹා ඇතැයි මරදාන පොලිසිය කියයි.
පාසලේ විධායක සභිකයකුගේ දරුවකු වන එම සිසුවා පාසලට යද්දී කොණ්ඩේ අවුල් වී ඇති බව කියමින් මුහුණට පහර දී ඇතැයි ද, සිසුවා විසිවී බිම ඇද වැටී ඇති බව ද, ඉන් පසු බෙහත් වර්ග තුනක් බොන්නට දී ඇතැයි ද පොලිස් ආරංචි කියයි.
බෙහෙත් දුන් පසු දරුවාට වමනය ගොස් ඇති බව සිසුවාගේ පියා පවසයි.
‘ඕනෑ කෙරුමකුට කියා ඕන දෙයක් කරගන්නවා.‘ යැයි නියෝජ්‍ය විදුහල්පති කී බවත්, තම දරුවාට පමණක් නොව වෙනත් දරුවන්ට ද මෙලෙස අමානුශික ලෙස පහර දීම නැවැත්විය යුතු බවත් පියා කීවේය.
විදුහල්පති ලියනගමගේ කීවේ දරුවාට පහර දුන්නේ ඔහු වරදක් කර ඇති නිසා බවයි.
‘මේ ළමයා වරදක් කරලා තියෙනවා. ඒකයි ඒ නියෝජ්‍ය විදුහල්පති ගහලා තියෙන්නේ. ඔහු බොරුවට දැන් රෝහල් ගත වෙලා ඉන්නවා. රොහලෙන් කියා තිබෙනවා නැවතිලා ඉන්නේ නැතුව ටිකට් කපාගෙන යන්න කියලා. ළමයාගේ තාත්තාත් වැරදි විදියට නියෝජ්‍ය විදුහල්පතිට කතා කළේ. ඔහු අදි ශිෂ්‍යයෙක් කියල ආදි ශිෂ්‍යයන්ට ඕනෑ විදියට වැඩ කරන්න බැහැනේ පාසලේ. ළමයින් විභාගේ පාස් වුණාම පත්තරවල දාන්නේ නැහැ. හැබැයි වෙන දෙයක් වුණාම මුල් පිටුවෙම දානවා.‘ යැයි ද විදුහල්පති කීවේය.
ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ජයන්ත වික්‍රමසිංහ මහතා කීවේ සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධිය ගැන සොයා බලන බවයි.



