ආදරණීය වස්සානය චිත්‍රපටයේ චතුරිකා රඟපාද්දි ආදරේ හිතුණා


ශ්‍රී ලාංකීය කලා ක්ෂේත‍්‍රය වෙනුවෙන් එදා මෙදා තුර විවිධ ස්වරූපයන්ගෙන් සිය රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත‍්‍රය ආලෝකමත් කිරීමට සමත් වූ කලාකරුවෙක් තමයි ගයාන් වික‍්‍රමතිලක. ඔහු සතු රංග පෞරුෂය, සහජ දක්ෂතාව, රංගන කුසලතාව, ප‍්‍රියමනාප බව සහ ආකර්ෂණීය බව නිසාම ඉතා කෙටි කලකදීම පේ්‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම් ගත් චරිතයක් බවට ද පත් වුණා. මෑතකදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ද නිර්මාණ බිහි කරමින් සිය කුසලතා එළිදැක්වූ ඒ සොඳුරු රංගන ශිල්පී ගයාන් වික‍්‍රමතිලක මෙවර තරු පෙම් කළ තරු විශේෂාංගය හැඩ කරනවා.

මුලින්ම කිව්වොත් ඔබ කුඩා කළ පෙම් බැඳි නිළිය කවුද කියලා?

පුංචි කාලෙදි මම ගොඩක්ම ආසා කළේ ආදරේ කළේ ස්වර්ණා මල්ලවආරච්චිට.

ඇයට පෙම් බඳින්න හේතුව?

ඒකට ලොකුම හේතුව වෙන්නෙ ඇය රඟපාන විදිය. මම පොඩි කාලෙ ඉඳන්ම ඇය රඟපාන චිත‍්‍රපට බලන්න ගොඩක්ම කැමතියි. විශිෂ්ට රංගන ප‍්‍රතිභාවක් ඈ සතුව තියෙන්නෙ.

ඇය රඟපෑ චිත‍්‍රපට අතරින් ඔබ කැමතිම චිත‍්‍රපටය මොකක්ද?

මම කැමැතිම ඇය රඟපෑ ‘දඩයම’ චිත‍්‍රපටයට. ඇය ඒ චිත‍්‍රපටයෙ රඟපාන විදිය හරිම සුවිශේෂයි. එහිදී ඇය රවීන්ද්‍ර රන්දෙණිය මහතා සමග රංගනයෙ යෙදෙද්දි ඒක චිත‍්‍රපටයක් කියලා අපට දැනෙන්නෙ නෑ. ඒ රඟපෑම ඇත්ත සිද්ධියක් වගේ. ඒ තරමට තාත්විකයි.

ඇයත් සමග ගයාන්ට රඟපාන්න අවස්ථාවක් ලැබිලා තියෙනව ද?

තවම නම් නෑ. ඒත් මට ඇය සමග රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් හරිම කැමැත්තෙන් භාරගන්නවා.

ගයාන් රංගන ශිල්පියෙක් වුණාට පස්සෙ පෙම්බැඳි නිළිය ගැන කිව්වොත්?

මම දන්න කාලෙදි ඉඳන්ම ගොඩක් කැමැත්තෙන් හිටියෙ චතුරිකා පීරිස්ට තමයි. මම මුලින්ම ප‍්‍රධාන චරිතයක් රඟපෑවෙත් ඇයත් සමගමයි. ඒ දිව්‍යා නාට්‍යයෙ.

20170202Gayan-1ඒ කියන්නෙ ගොඩක් කාලෙක ඉඳන්ම චතුරිකාට පෙම් බැන්දා?

මම මුලින්ම ඇයත් එක්ක ප‍්‍රධාන චරිතයක් රඟපෑවෙ. නමුත් ඒ දවස්වල අපි අතර සම්බන්ධයක් තිබුණෙ නෑ. හැබැයි මම ඇය තුළ ඉතාම අහිංසක හිතට වදින කාන්තා ගති ලක්ෂණ ටිකක් දැක්කා. ඒ වගේම තවත් පැත්තකින් කොල්ලෙක් වගේ හැසිරෙන කතා කරන සෙල්ලක්කාර ගති ලක්ෂණත් දැක්කා. ඒ හැමදේටම මම ගොඩක් කැමතියි. ඉතින් අපි යාළුවො විදියට තමයි මුලින්ම නම් සමීප වුණේ.

යාළුවො විදියට සමීප වුණු ඇයව අවසානයේ පෙම්වතිය, බිරිඳ කර ගන්න තරම් හිතුණේ ඇයි?

අපි මුලින්ම යාළුවො විදියට කතාබහ කළා. ඉතින් ටිකින් ටික අපි කතා කරද්දි ඇය අහිංසක ගැහැනියක් පෙම්වතියක් කියන එක මගෙ හිතට ටිකින් ටික දැනුණා. අපි පසුකාලීනව සේපාලිකා නාට්‍යයෙන් තමයි මුණ ගැහුණෙ. ඒ කාලෙ මට ඇය ගැන ගොඩක් දැනුණා. ඒ නාට්‍යය අවසානයේදී තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තෙ.

ඇය රඟපෑ නිර්මාණ අතරින් ගයාන්ගෙ සිත්ගත් රංගනය මොකක් ද?

මම කැමතියි ඇය රඟපෑ සේපාලිකා නාට්‍යයේ රංගනයට. එහි මමත් ඇය සමග රඟපෑවා. චතුරිකා ඒ චරිතය ඉතා ආකර්ෂණීය ලෙස රඟපෑවා. ඒ නාට්‍යයෙ චරිතයටත් මම ආදරය කළා. ඒ වගේම එතැනින් පසුව ඇයටත් ගොඩක් ආදරය කළා.

මේ වෙද්දි ඇය සමග කොතරම් නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනව ද?

දිව්‍යා, බිඳුණු සිත්, ආත්මා, සේපාලිකා, හිරු තනිවෙලා, වෑදිය නිසලයි ඒ වගේ බොහෝ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. ඉදිරි මාස කිහිපය තුළත් තව නාට්‍යවල වැඩ කරන්න නියමිතව තියෙනවා.

චතුරිකා පීරිස් සිනමාවටත් සම්බන්ධ චරිතයක්නෙ. ඇයගෙ සිනමා රංගනයේදි ඔබ දුටු දක්ෂතම සහ ආදරණීයම රංගනය මොකක් ද?

මම දැකපු සුවිශේෂම ආදරණීයම රංගනය තිබුණෙ ‘ආදරණීය වස්සානය’ චිත‍්‍රපටයෙ. ඇය එහි ඉතා දක්ෂ ලෙස රඟපෑවා. මම ඇත්තටම තාම බලාපොරොත්තු වෙනවා ඇය ටෙලි නාට්‍යවල වගේම චිත‍්‍රපට තුළත් ඇයට කරන්න පුළුවන් තාක්කල් එහි නිරත වෙන එක දකින්න.

දෙන්නා එකතුවෙලා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

අපි දෙන්නා එකතුවෙලා තමයි ආත්මා සහ සහේලි ටෙලිනාට්‍ය දෙක කළේ. මම අධ්‍යක්ෂණය කළා. චතුරිකා නිෂ්පාදනය කළා. ඉදිරි මාස කිහිපය තුළ අපේ අලූත් ටෙලිනාට්‍යයත් ආරම්භ වෙනවා. ඒ වගේම 2018 වර්ෂය ඇතුළත චිත‍්‍රපටයක් කිරීමේත් ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉන්නෙ.

පුංචි තිරයෙ වැඩිපුරම ගයාන්ගෙ පෙම්වතිය වුණේ කවුද?

ඒත් චතුරිකා පීරිස්ම තමයි.

ගයාන් සහ චතුරිකා එක්ව රඟපෑ නිර්මාණ අතරින් වැඩි කතාබහකට ලක්වුණේ මොකක් ද?

සේපාලිකා නාට්‍යයේ පහන් කියන චරිතයත්, සුදු හාමිනේ චරිතයත් දැඩි කතාබහකට ලක්වුණා. ඒ චරිත දෙක ඇත්තටම හරිම ආදරණීයයි. මම හිතන්නෙ තවත් ඒ වගේ චරිතයක් කරන්න අවශ්‍ය නැති ගාණටම පේ‍්‍රක්ෂකයො අතරට ඒ චරිත ගොඩක්ම ලංවුණා.

එහි පෙම් ජවනිකාවක් මතක් කරමු ද?

මට මතකයි ඒ නාට්‍ය ඇතුළත ඉතාම ලස්සන පෙම් ජවනිකාවක් තිබුණා. ඒක හරි ආදරණීය දර්ශනයක් පහන් සහ සුදු හාමිනේ අතර සිදුවුණු. මුලින්ම සේපාලිකා කියනවා,

”පහන් අයියා ආපු කාරණය කියන්න”

”නෑ සුදු හාමිනේම කියන්න”

”පහන් අයියා කියන්නකෝ”

”මට ලොකු විශ්වාසයක් තියෙනවා කව්රු මොනවා කිව්වත් සුදු හාමිනේ මාව දාලා යන්නෙ නෑ කියලා. හැබැයි එහෙම කවද හරි දවසක සුදු හාමිනේ කවුරුහරි එක්ක ගියොත් මම කාත් කවුරුවත් නැති පළාතකට ගිහින් ජීවත් වෙනවා.”

”මට එහෙම කරන්න  ඕන නෑ.”

”සුදු හාමිනේ කවදාවත් මාව දාලා යන්නෙ නෑ නේද” කියලා අහනවා.

ඊට පස්සෙ සුදුහාමිනේ පහන්ට කියන්න හදපු දේ ඒ වෙලාවෙදි කියන්නෙ නෑ. ඒ ජවනිකාව හරි ආදරණීය දර්ශනයක්. මට තවමත් මතක තියෙන දර්ශනයක්.

ගයාන් ඉන්දියානු නිළියන්ගෙන් පෙම්බැඳි නිළිය කවුද?

වර්තමානයේ නම් මම ගොඩාක්ම කැමැති ආලියා භාත්ට. ඒ ඇයගේ රංගන හැකියාව නිසා. ඇත්තටම හරි විශිෂ්ට රංගනයක් ඇය ඉදිරිපත් කරනවා. ඒ වගේම දිව්‍යා භාරතී, මධුරි ඩික්ෂිත්, කරිස්මා කපූර්, ශ්‍රීදේවි ඒ හැමෝටමත් මම ගොඩක්ම කැමැත්තෙන් හිටියා. ඒ වගේ දක්ෂ නිළියන් නැවත බිහිවෙන්නෙ නෑ දැන් ඉන්දියාවෙත්. ඒ අය හරිම දක්ෂයි.

ලංකාවෙ ගයාන්ගෙ ආදරණීයම ගායිකාව කවුද?

මගෙ ආදරණීයම ගායිකාව තමයි නන්දා මාලනී

ඇයගෙ කැමතිම ගිතය

ඇයගෙ හැම ගීතයකටම මම ගොඩක් ආසයි. ඒ අතරින් ‘කඩමණ්ඩියේ දොළ අයිනේ’ ගීතය ටිකක් විශේෂයි. ඇයට විශේෂයෙන්ම කැමැති ප‍්‍රධානම හේතුව තමයි අපේ හදවත්වලට වැදෙන්නම ඇය ගායනා කරනවා. ඒ සින්දු අහද්දි අපේ හාට් බීට් එකත් වැඩි වෙනවා. ඒ තැනට සින්දු කියන්න මම හිතන්නෙ නෑ වෙන කාටවත්ම පුළුවන් වෙයි කියලා.

ගොඩක් දක්ෂ ගායිකාවො ඉන්නවා. ඒත් මම හිතන්නෙ නෑ ඒ තියෙන හැඟීම් දෙන්න කාටවත් හැකිවෙයි කියලා.

නව පරපුරේ කැමතිම කාන්තා කටහඬ ගැනත් කියමු?

නව පරපුරේ මම උමාරියාට ගොඩක් කැමැතියි. ඇයටත් හොඳ කටහඬක් තියෙනවා. හැඟීම්බරව ගායනා කරනවා. ඒකට මම ගොඩක් කැමතියි.

ධනු විජේරත්න