(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට එක් වෙමිනි.
"සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් " යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.
යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.
යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.