
(ඡායාරූපය- එච්. චන්දන)
(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
හදිසි වැටලීමකට යමින් සිටියදී ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකට ලක්වීමෙන් මිය ගොස් , දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි. එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය - ඉහළගම පදිංචිකරුවෙකි.
අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග මහතා ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (04) රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.
කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබීමෙන් අනතුරුව ඔවුන් මෙම වැටලීමට ගොස් තිබේ. ඒ වන විට පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබීමහේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මෙම උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු තිබේ.
එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ සැක සහිත ලොරිය ඔවුන් පසු කර යනවාත් සමඟ තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලොරිය හඹා යාමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇතැයි ද වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි ද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. මෙම සිදුවීම අතරතුර ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇත.
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ අතර, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(ඡායාරූපය - හිරාන් ප්‍රියංකර)

