
කැනඩාව සහ එක්සත් රාජධානිය ප්‍රථම වරට පිරිනැමූ මාධ්‍ය නිදහස සඳහා වන සම්මානයේ නිර්දේශිත නාම පහ අතරට එක්වීමට ආචාර්ය රංග කලන්සූරිය මහතා සමත්විය.
කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රන්සුවා පිලිපේ ෂැම්පේන් සහ එක්සත් රාජධානියේ රාජ්‍ය හා විදේශ ලේකම්, පොදු රාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (විදේශ අමාත්‍ය) ඩොමිනික් රාබ් ‘කැනේඩියානු-එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මානයේ’ ජයග්‍රාහකයා ඉකුත් දා (16) නිවේදනය කළහ.
ලොවපුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන්, පුද්ගලයන් සහ සංවිධාන සඳහා ගරු බුහුමන් දැක්වීමේ අරමුණින් මෙම සම්මානය හඳුන්වා දී තිබේ.
ගෝලීයව මෙම සම්මානය සඳහා නාමයෝජනා 60කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ තිබූ අතර එහි හොඳම පස්දෙනා අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලරූස්), සෙන්ට්‍රෝ ඩී ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා (මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා ස්කීස් මධ්‍යස්ථානය (ලෙබනනය) , ආචාර්ය රංග කලන්සූරිය (ශ්‍රී ලංකාව) සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) යන ආයතන/සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් තේරී පත්ව තිබිණි.
ප්‍රථම වරට පිරිනැමූ මෙම සම්මානයේ මේ වසරේ ජයග්‍රහාකයා වූයේ බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි. මාධ්‍ය ආචාර ධර්ම හා මූලධර්ම කෙරෙහි ඇති අඛණ්ඩ කැපවීම සහ බෙලරුසියාවේ දැඩි මාධ්‍ය මර්දනය හමුවේ නොපසුබට උත්සාහයකින් සහ ආත්ම පරිත්‍යාගයකින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට එම සම්මානය හිමිව තිබිණි.
ආචාර්ය රංග කලන්සූරිය මහතා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියකු ලෙස පිළිගැනේ. ඔහු දැනට ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල ප්‍රතිපත්ති උපදේශනය, පර්යේෂණය සහ ධාරිතා (හැකියා) වර්ධනය යනාදිය අධීක්ෂණය කරන ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් (අයි.එම්.එස්) ආයතනයේ ආසියානු කලාපීය උපදේශක ලෙස කටයුතු කරයි.
සම්මාන උලෙළ අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.
055

