ආචාර්ය ගයානිගෙන් පරිණාම වාදයට අලුත් පිටුවක්




(සුජිත් හේවාජුලිගේ)

ජීව විද්‍යා ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් ගණනාවක් කළ ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනවිරත්න මහත්මිය  මෑතකදී  කළ  නව පරීක්ෂණයකින් මිනිස් පරිණාමය සම්බන්ධයෙන් ලොවම මවිත කළ  තොරතුරු රැසක් අනාවරණය කිරීමට  සමත් වූවාය.

මිනිසාට කෙලින් ඇවිදීමට  ප්‍රධාන වශයෙන් බලපාන ශ්‍රෝණියේ හැඩතල කාලයත් සමග වෙනස් වීමට පාදක වන ජාන  වෙනස්කම් දෙකක්  සොයා ගැනීමෙන්  ඇය මෙම පෙරළිය කළාය.

මෙම සොයා ගැනීම සඳහා සෙනවිරත්න මහත්මිය  මිනිසුන්ගෙන් සහ ප්‍රයිමේටාවන්ගෙන් ලබාගත් කළල පටක සාම්පල එකසිය විසි අටක්  විශ්ලේෂණය කළාය.

මිනිස් ශ්‍රෝණියේ  විශාල අවධි  දෙකකින් පරිණාමයවී ඇති බව  එහිදී  සුවිශේෂයෙන් සොයා ගැනිණ.පළමු පරිණාමීය පියවරේදී වර්ධන පටකය( වර්ධනය සිදුවන අස්ථියේ කොටසක්) අංශක 90කින් භ්‍රමණය වන බවත් දෙවැනි පියවරේදී කලල රූපය තුළ අස්ථි වර්ධනයට බලපාන තවත් වෙනසක් සිදුවන බවත් ඇය මෙලෙස  සොයා ගත්තාය.

මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන හාවඩ් විශ්ව විද්‍යාලයේ මානව පරිණාමීය ජීව විද්‍යා අංශයේ මහාචාර්ය ටෙරන්ස් කැපිලෙනි  මහතා පවසන්නේ ගයානි කළ කටයුත්ත   දැවැන්ත සාර්ථකත්වයක්  බවයි.

ඇය මීට පෙරද සාර්ථක පරීක්ෂණවලින් ජීව විද්‍යාත්මක නව සොයා ගැනීම් ගණනාවක් කළාය. ඒ වෙනුවෙන් ඇය   ජීව විද්‍යාවට අදාළව පිරිනැමෙන කීර්තිමත් සම්මානයක් වන Helen Hay Whitney Fellowship  සම්මානයද වරක්  දිනා ගත්තාය.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ගයානි සෙනවිරත්න පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් පළමු පන්තියේ උපාධිය ලබා  චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර  ගත්තාය.

ඇය හිටපු සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතාගේ දියණියකි.