(අධිකරණ උපාලි ආනන්ද)
රෝගියෙකුට ප‍්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් පැමිණි තමාට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කර එක් ඇසක් අන්ධ කර අනෙක් ඇසට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් චමරී දනන්සූරිය මෙනවිය අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 18වනදා විභාග කිරීමට නියෝග කළාය.
නඩුවට අදාළ ලිඛිත දේශන සහ විත්ති පැමිණිලි පාර්ශවයන් විසින් අධිකරණයට මීට පෙර ගොනු කර ඇත. උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතා ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණ.
මෙම නඩුවේ විත්තිකරුවන් වන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන මින්නේරිය, හබරන පාර, මෙත්සුව ලිපිනයේ සුසිරි කුමාර වික‍්‍රමසිංහ, හිටපු යුධ හමුදා සෙබලකු වන මින්නේරිය රජඇල, 161/2 ලිපිනයේ ඒ.ඩබ්.ඒ.නුවන් කුමාර සහ මාලූ වෙළෙන්දෙකු වන වතුරගම, ගලබඩ, අංක 304 ලිපිනයේ කෝෂිත හෂාන් යන තිදෙනාය.
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කරුනාරත්න හේරත් මහතා පැවසුවේ 2013.02.22 වන දින හෝ ඊට ආසන්න දිනයකදී ඉහත නම් සදහන් 2 වන සහ 3 වන විත්තිකරුවන් පැමිණිලිකරු පදිංවිව සිටි අනුරාධපුරයේ පිහිටි නිල නිවසට පැමිණ පළාත් ආයුර්වේද කොමාසරිස්වරයාට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කළ බවයි. ඒ රෝගියෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණ බව පවසමිනි.
මෙම පැමිණිල්ලේ 2 සහ 3 විත්තිකරුවන්ද, ඔවුන්ව මෙහෙයවූ තැනැත්තා වන 1 විත්තිකරුද අත් අඩංගුවට ගත් බව මෙම ඇසිඩ් ප‍්‍රාහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ අනුරාධපුර පොලිසිය අධිකරණයට කියා සිටියේය. ජනාධිපති නීතිඥවරයා විමර්ශනයේදී හෙළිදරව් වූ සාක්ෂි මත 1, 2 සහ 3 වන විත්තිකරුවන්ට එරෙහිව මේ වන විට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ එචි.සී 258/ අංක දරන නඩුව යටතේ අධිචෝදනා ගොනු කර ඇති බවද පොලිසිය පැවසීය.