අහිංසකයි එළිය බෙදයි කණාමැදිරියෝ


කණාමැදිරි එළිය නැතිවී යාමේ ලකුණු ඇතැයි පරිසර හිතකාමී වෛද්‍යවරු පිරිසක් අනතුරු අඟවති.

කොළඹ හා අවට මේ තත්ත්වය දැන් දැකිය හැකි බවද වගුරු බිම් ලඳු කැලෑ, තුරු වදුළු ආදිය උයන් වතු ආදිය එළි පෙහෙළි වීමත් කණාමැදිරියන් පියඹා යන උසින් විදුලි පහන් වලින් ආලෝකය පැතිරී යාම නිසා ලොව පුරාම කණාමැදිරියන් වඳවීමේ ප්‍රවණතාවයක් ඇතැයි විශේෂඥ වෛද්‍ය ඌෂා සමරසිංහ මහත්මිය කියන්නීය.

සක්මන් මන්තීරුවල වැඩිපුර රුක් රෝපණය කිරීමෙන්ද විදුලි ආලෝකය බිම් මට්ටමින් සැපයීමෙන් කණාමැදිරියා රැකගත හැකි බවද වෛද්‍යවරිය කියන්නීය.

තමා සක්මන් කරන දියවන්නා සක්මන් මන්තීරුවල වැඩි වැඩියෙන් ගස් සිටුවීම ඇය නිදසුන් කොට දක්වන්නීය.

පිළිකා, බහුජඨරතාව හෙවත් මල්ටිපල් ස්කෙලෝරෝසිස්, කෝෂ්ඨ ප්‍රදාහය හෙවත් සිස්ටික් ෆයිබ්රෝසිස් හා හදවත් ලෙඩට පිළියම් සොයා ගැනීමේ විද්‍යාත්මක පර්යේෂණවලට කණාමැදිරියා එළිය දැල්වීමට යොදා ගන්නා ‘ලුසිෆරින්’ හා ‘ලුසිෆරේස්’ නම් දුර්ලභ රසායන දෙක යොදාගන්නා බව විද්‍යාඥයෝ කියති.

කනාමැදිරි එළිය ධන උල්පතක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බවද වෛද්‍ය සමරසිංහ මහත්මිය කියන්නීය.

මලයාසියාවේ කණාමැදිරි කලාප පිහිටුවා ඇති බවත් බොහෝ විදේශිකයන් ඒ සඳහා ඇදී එන බවත් එක් විදේශිකයකුගෙන් රින්ගිත් (රුපියල් 11,440ක්) අය කරන බවත් ඇය පවසන්නීය.

ලොව පුරා කණාමැදිරි වර්ග 2000 ක් පමණ සිටින බවත් සහකරු සොයා ගැනීම සඳහා කණාමැදිරියා සිය  උදරයේ පසුපස කොටසින් ලා කොළ පැහැ ආලෝකයක් නිකුත් කරයි.