අහසේ තරු ගැන පොළොවේ තරු කී කතා


කලාකරුවන් කලාකාරිනියන් කීපදෙනෙක්ගෙන් එකම ප්‍රශ්නයක් අහන්න අපිට හිතුණා. අහපු ප්‍රශ්නෙට එයාලා එක එක උත්තර දුන්නා. ‘හඳහන් විශ්වාස කරනවාද...’ අපි අහපු ප්‍රශ්නය එයයි. කියවලා බලන්න ඒ අය මොනවද මේ කිව්වේ කියලා.

 

ISHARA SANDAMINI2017-02-09-ent-12

තුන් දෙනෙක්ගෙන් ඇහුවොත් තුනක්

හඳහන කියන දේ මාත් විශ්වාස කරනවා. මගේ අම්මලා ඔය හඳහන එහෙම ගෙනිහින් බලනවා. හැබැයි ඒකෙම ඇලිලා ඉන්නේ නෑ. හඳහනේ තියෙන දේ ඇත්ත වුණත් ඒවා බලන ඔය ජ්‍යොතිෂවේදීන් හැමෝම ඇත්ත කියන්නේ නැහැනේ. අපි ජ්‍යෝතිෂවේදීන් තුන් දෙනෙක් ළඟට ගියොත් ඒ තුන්දෙනා කියන දේ සමහරවිට එකිනෙකට වෙනස් වෙන්නත් ඇති. ඒ නිසා හොඳ ජ්‍යොතිෂවේදියන්ගෙන් හඳහන බලන එකයි කරන්න ඕනේ. මගෙයි අනුරගෙයි විවාහයේදීත් අපි ඒ දේවල් බැලුවා. මම පුංචි කාලේදී හඳහනේ තිබුණු සමහර අපලවලට අම්මා ඔය බෝධිපූජා එහෙමත් තියලා තියනවා. කොහොමටත් අපි බුදුදහමට ගොඩාක් ළැදියි. හඳහනේ තිබුණත් නැතත් ඉඩක් ලැබුණම අපි පන්සල් ගිහින් ඔය බෝධි පූජානම් එදා ඉඳන් කරනවා.

 

2017-02-09-ent-08HARSHANA BETHMAGE

අපලවලට මුදු යන්ත්‍ර දාලා නෑ

මම හඳහනම විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. සම්ප්‍රදායක් විදිහට මායි වොල්ගායි විවාහ වෙද්දී අපේ අම්මලායි, වොල්ගාගේ අම්මලායි දෙගොල්ලොම ගිහින් අපේ කේන්දර බැලුවා.

අපි දෙන්නගේ කේන්දර හොඳට ගැළපිලා තිබුණා. එහෙම ගැළපෙන නිසා වෙන්නත් ඇති අපි එකට මුණගැහිලා... ආදරේ කරන්නත් ඇත්තේ. හැබැයි කවදාවත් මම හඳහනේ තිබෙන අපලවලට කියලා මුදු දාලා යන්ත්‍ර දාලා නෑ. ඒ දේවල් මම එහෙමම කියලා විශ්වාස කරන්නෙත් නෑ. කොහොම වුණත් මටත් හඳහනක් තියෙනවා.

 

ROSHAN RANAWANA2017-02-09-ent-13

හඳහනේ තිබුණටම බෑ

ඔව්... මම හඳහන කියන දේනම් විශ්වාස කරනවා. හැබැයි ඉතින් ඒකටම ඇලීගෙනනම් ඉන්නේ නෑ. මගේ ජීවිතේ මාර්ගෝපදේශකයක් විදිහට තමයි මම හඳහන දකින්නේ. අද වෙද්දී මගේ හඳහනේ තිබුණු දේවල්වලින් 75%ක් විතර ඇත්තවෙලා තියෙනවා. මගේ අම්මා හඳහන විශ්වාස කරනවා. මගේ මුලින්ම හඳහන බලපු කෙනා කියලා තියෙනවලු මම කවදාහරි ජනප්‍රිය වෙනවා කියලා. දින වකවානු සහිතව පවා ඒ මනුස්සයා ඒ දේවල් කියලා තියෙනවා. අද වෙද්දී ඒ දේවල් යම්තාක් දුරකට ඇත්තවෙලා තියෙනවා.

හැබැයි හඳහනේ තිබුණු පළියට අපිට ඒ දේවල් ලබාගන්න බෑ. ඒ ජයග්‍රහණ වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕනේ. ගොඩාක් කැපවෙන්න ඕනේ. මගේ හඳහනින් තිබුණු සමහර අපල කාලවලදී මගේ අම්මා ඒ වෙනුවෙන් ඔය බෝධිපූජා තිබ්බා. තව ඔය දානමාන කළා. ඒ දේවල්වලිනුත් යම් සහනයක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා හඳහන කියන දේ බොරැයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. විශ්ව ශක්තියක් කියලා දෙයක් ලෝකෙ තියෙනවා. කර්මයේ ලියැවිලා තියෙන සමහර දේවල් අපිට අපේ කැපවීමෙන් වෙනස් කරගන්න පුළුවන්. කුශ්ලානිගේත් මගේත් විවාහයේදීත් අපේ අම්මලා හඳහන්, කේන්දර ගැළපීම් කළා. අපේ අම්මලා එදා ඉඳන්ම හඳහන් බලන ජ්‍යොතිර්වේදියෙක් අපිට ඉන්නවා. එයාට කියලා තමයි අපේ හැම හඳහනක්ම අම්මා බලන්නේ.

 

2017-02-09-ent-09channa perera

මටනම් ලොකු මගේ හිත

හඳහන ගැන හිතද්දී දැන් ඔය හඳහන බැලිල්ල ඇත්තටම ව්‍යාපාරයක් වෙලානේ. ඒ බිස්නස් එක ඇත්තටම දැන් විහිළුවක්. බොහෝ දෙනා ජ්‍යොතිෂ්‍යවේදීන් කියලා කියාගෙන මිනිස්සුන්ව සූරාගෙන ලෝකයක් මවලා ලොකු මුලාවක් අද කරනවා.

අපේ රටේ විතරක් නෙමේ, අමෙරිකාව වගේ බටහිර රටවල් පවා හඳහන යම්තාක් දුරකට විශ්වාස කරනවා. හැබැයි ඒ මිනිස්සු කිසිමදාක ඒකේ එල්ලීගෙන වැඩ කරන්නෙ නෑ. ජ්‍යොතිෂ්‍යයේ යම් ශාස්ත්‍රයක් තියෙනවා කියලා මාත් විශ්වාස කරනවා. මම හැමදාමත් වැඩ කළේ මගේ හිතට එකඟවයි. මගේ ජීවිතේ නැකැත වුණේ මගේ හිතේ විශ්වාසයයි.

සිනමා නිර්මාණවලදීනම් සමහර නිෂ්පාදකවරැ එයාලගේ විශ්වාසයත් එක්ක යම් යම් දේවල් කරන්න යම් යම් කාල ගැන කිව්වා. ඒ අනුව මාත් කටයුතු කරපු වෙලාවල් තිබුණා. අපේ විවාහයේදී වුණත් මව්පියන්ගේ කැමැත්ත අනුව අපි හඳහන් වෙලාවල් බැලුවා. හැබැයි මගේ ජීවිතේදීනම් මම වෙලාවල් අනුව සුබ දවස අනුව එළියට බැහැලා වැඩ කරන කෙනෙක්නම් නෙමේ.

 

SARANGA DISASEKARA2017-02-09-ent-11

තීරණ ගන්න සපෝට් එකක්

හඳහන කියන දේ දිහා මම බලන්නේ මධ්‍යස්ථ විදිහටයි. ජීවිතේ මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ හඳහනේ විදිහට කියලනම් මම විශ්වාස කරන්ෙන නෑ. හඳහන ගැන ලොකු විශ්වාසයක් තියෙන්නේ අපේ වැඩිහිටියන්ට. ඒත්... මමනම් ඒක ලොකුවට ගණන් ගන්නේ නෑ. ඒත්... අපේ ජීවිතේ අනාගතේ යම් යම් තීරණ ගන්න හඳහන අපිට උදව් කරනවා ඇති.

හඳහනේ තිබුණු ඇත්ත හෝ බොරු වෙච්චි සිදුවීම් ගැන හිතද්දී මට එහෙම ලොකුවට මතකයටනම් එන්ෙන නෑ. හැබැයි මගේ උත්පත්ති කේන්දරේ ග්‍රහ මාරැව අනුව තිබිලා තියෙනවා මම දවසක යම් දෙයකින් ආකර්ෂණීය චරිතයක් වෙනවා කියලා. ඒ දේ මට කිව්වෙත් මගේ අම්මා. ඉතින් සමහරවිට කලාකරැවෙක් වීම තුළින් ඒ දේ ඇත්ත වෙලත් ඇති.

අම්මා තමයි මගේ හඳහන බලන්නේ. ඉතින් සමහර අපල කාලවලට අම්මා මගේ අතේ මුද්දක් එහෙම දාපු කාලයක් තිබුණා. සුරයක් එහෙම දාපු කාලයක් තිබුණා. ඒ නිසා ඒ දේවල් බොරැ කියලා අපිට බැහැර කරන්න බෑ. බෝධිපූජා කටයුතුනම් අපේ අම්මා අපලයක් ඇතත් නැතත් පුළුවන් වෙලාවක තියනවා. උමාලිගෙයි මගෙයි විවාහය සිදුකරද්දීත් වැඩිහිටියෝ හඳහන් බලලා ඒ අනුව තමයි වැඩකටයුතු කළේ. කොහොම වුණත් හඳහන ගැන මම තුළ තියෙන්නේ මධ්‍යස්ථ විශ්වාසයක්.

 

2017-02-09-ent-10SANGEETHA WEERARATNE

නොපෙනෙන දකින සාස්තරයක්

මම ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන කෙනෙක්. ඕනෑම කෙනෙක්ට වෙලාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. කර්මය අනුව මේ දේවල් අපිට සිදුවෙනවා. ජීවිතේ ඒ දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන් කියලත් මම විශ්වාස කරනවා. මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ අපි කරපු පින් පව්වල ප්‍රතිඵලයක් නිසයි. ඒ පින් පව් මේ ආත්මයේ විතරක් නෙමෙයි ලබන ආත්මයේදීත් අපේ ජීවිතේ වෙනස් කරන්න හේතු වෙනවා.

මේ නොපෙනෙන දේවල්වලින් අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඒක ඇත්තක්. හැබැයි එහෙමයි කියලා මට ජ්‍යොතිෂ්‍ය පිළිබඳ අන්ත විශ්වාසයක්නම් නෑ. මම බෞද්ධ දහම විශ්වාස කරන කෙනෙක්.

හැබැයි මම බෝධිපූජා තියන ක්‍රමයනම් වෙනස් වෙනවා. මම බෝධිපූජා තියන්නේ මගේ හිතට දුකක් ප්‍රශ්නයක් ආවමනම් නෙමේ. මම පන්සල් ගිහින් බෝධිපූජා තියන්නේ මගේ හිතට සතුටක් ජයග්‍රහණයක් ආවමයි. මම ජීවිතේ මට ලැබිච්ච සාර්ථක දේවල් වෙනුවෙන් බෝධිපූජා තියනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවම මම ඒක කොහොම හරි විසඳා ගන්නවා. සතුටක් ආවම මම බෝධි පූජාවක් තියනවා.