අස්ගිරි මා හිමියෝ පැරිස් විහාරය විවෘත කරති


පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව දෙමහල් විහාර මන්දිරය උඩුගම බුද්ධරක්ඛීත  අස්ගිරි මහා නායක හිමියන්  අතින් විවෘත විය.

විහාරාධිපති  ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක  පරවාහැර චන්දරතන නාහිමියන් ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්විණි.

යුරෝපයේ ශ්‍රී ලාංකික විහාරස්ථානයක ඉදි වු විශාලතම විහාර මන්දිරය මෙය බව චන්දරතන හිමියෝ කියති.

පසුගිය වසර තිහකටත් වැඩි කාලයක් පැරිස් නුවර සිට ධර්ම ප්‍රචාර මෙන්ම සිංහල සංස්කෘතික අංග යුරෝපයට හඳුන්වාදීමේ විවිධ වැඩ කටයුතු වලද නිරතව වැඩසිටින චන්දරතන හිමියන් පැවසුවේ පන්සලේ ආගමික කටයුතු සඳහා සහභාගිවන සැදැහැවතුන්ගේ පිරිස විශාල වශයෙන් වැඩිවීම නිසා ඉඩ පහසුකම් ඇති නව විහාර මන්දිරයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය මතු වු බවයි.

පැරිස් නුවර ආසන්න ල බුෂේ නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය ආරම්භ වුයේ 1988 වර්ෂයේ දීය.

පැරිසියේ ජිවත්වන ශ්‍රී ලාංකික මෙන්ම ප්‍රංශ, ලාඕස, වියට්නාම සහ කාම්බෝජ බෞද්ධයන් මෙම විහාරස්ථානයේ දායකයින් වෙති. ඔවුනගේ සහයෝගය ඇතිව නව විහාර මන්දිරයේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී මුල් ගල් තැබිණි.

විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුන විහාර මන්දිරය විවෘත කිරීමේ පිංකමෙහි ප්‍රධාන ආරාධිතයාණන් වහන්සේ වුයේ ශ්‍යාමෝපාලි වංශික නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ධූරන්ධර  උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමිපාණන් වහන්සේය.

පිරිත් ධර්ම දේශනයක් ද මහා සංඝරත්නය  සෙත් පිරිත් අභිෂේක ගාථා සඡ්ඣායානය කරද්දී මහා නාහිමියෝ විසින් විහාර මන්දිර දෙකෙහි ස්ථාපිත කර තිබු බුදු පිළිම වහන්සේලා නිරාවරණය කළහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කටුගස්තොට උපරතන නාහිමියෝ සධාතුක කරඬුව නිරාවරණය කළහ.

ඉහළ විහාරයේ පරිවාර බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කරනු ලැබුවේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත  මහතා විසිනි.

පිංකමට වැඩමකැර සිටි මහා නාහිමියන් ප්‍රමුඛ 50 නමපිණ්ඩපාතයෙහි වැඩම කළහ.

මහ නා හිමියෝ ඇතුළු එම භික්ෂුන්වහන්සේලා 50 නම පිණ්ඩපාතයෙහි වැඩිම විශේෂ සිදුවීමක් විය.

විහාර මන්දිරයේ සමාරම්භක පිංකම සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන වලට අමතරව සහ ශ්‍රී ලංකාව, ඇමෙරිකාව, ස්විර්සර්ලන්තය, ඉතාලිය වැනි රටවලින්ද මහා සංඝරත්නය වැඩම කළහ.

කීර්තිමත් බෞද්ධ විද්වතෙකු වන හිටපු තානාපති  ආචාර්ය ආනන්ද ගුරුගේ ද පැමිණ සිටියේය.

ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක කොතලාවල සමාධි බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධසිරි හිමියෝ පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබිය.

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ ප්‍රංශ බසිනුත්  බොරැල්ලේ කොවින්ද හිමි සිංහල බසිනුත් ධර්ම දේශනය පැවැත්වුහ.

ආරාධිත ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ආචාර්ය ආනන්ද ගුරුගේ විසිනි.

පරවාහැර චන්දරතන හිමියන්ගේ සේවය අගයමින් අස්ගිරි මහා නා හිමියන්ට උපහාර පිණිස උන්වහන්සේ වෙත සමරු තිළිණයක් ප්‍රධානය කළහ.

නව බුදුමදුරෙහි තැන්පත් කිරීම පිණිස රහත් ධාතුන් වහන්සේලා සහ බුද්ධ ප්‍රතිමා  වහන්සේ තවලම ධම්මික  හිමියන් විසින්  පුජා කැරිණි.

නව බුද්ධ මන්දිරය ඉදිකිරීමේ වැඩ කටයුතු සඳහා නොමසුරුව උදව් උපකාර කළ සියලුම දෙනාටත් එහි තැන්පත් කළ බුදුපිළිම වහන්සේලා නිර්මාණය කිරීමේදී සහායවූ ශ්‍රී ලංකාවේ මහා සංඝ රත්නය, කළා ශිල්පීන් සහ අනෙකුත් දායකයින් හටත් විහාර මන්ධිරය විවෘත කිරීමේ පිංකම සඳහා සහභාගිවූ සහ උදව් උපකාර කළ සියලුම දෙනාටත්  පරවාහැර චන්දරතන හිමියෝ පින් දුන්හ.