අවුරුදු තුනෙන් රට හදනවා


(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂවරුන්  පුටින්ලා, දුටුගැමුණුලා, ධර්මපාලලාට  අන්දා ජනතාව රවටා රට බංකොලොත් කළ අයට රටේ ස්වෛරීභාවය ගැන වචනයක් වත් කතා කිරීමේ අයිතියක් නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

සොරකම නවතා රාජ්‍ය කාර්යක්ෂමතාව ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව කී  චම්පික රණවක මහතා සොරකම නැවතීම සහ රටේ ධනෝත්පාදනය අතර වෙනස නොදන්නා අයට රටක නායකයන් විය නොහැකි බව ද කීය.

 එක්සත් ජනරජ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව පැවසීය.

ජනාධිපතිවරයාගේ ලියවිල්ල අනුව  රට අර්බුදයෙන් ගැලවෙන්නේ 2032 දී බවත්  රට දියුණු වෙන්නේ 2048 දී බවත් කී රණවක මහතා තව අවුරුදු 25 ක් දුක් විඳින්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.

වසර තුනක් ඇතුලත  රට හදන්නට එක්සත් ජනරජ පෙරමුණට හැකියාව ඇති බව කී රණවක මහතා රටේ තිබෙන මූලික ප්‍රශ්න තුනක් වන ඖෂධ සහ රෝහල් සේවයේ ගැටලුව,ආහාර ප්‍රශ්නය,බලශක්තිය, ප්‍රවාහනය සහ විදුලිබලය පිළිබඳ ප්‍රශ්නය මුලින්ම විසඳන බව සඳහන් කළේය.

පළමුවෙන්ම රට හදන බවට රටේ වෘත්තීයවේදීන්ට විශ්වාසයක් දිය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා කීය.