ඇල්පිටිය කහදූවේ බක් මහ උළෙලකට පහර දුන්නැයි කියන මැරයන් අත්අඩංගුවට ගන්නැයි කියමින් ඇල්පිටිය, කහදූව හරහා මාපලගම ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ගම් වැසියෝ උද්ඝෝෂණයක නියැලෙති.
වජිර අබේවර්ධන පදනම විසින් සංවිධානය කැරුණු අවුරුදු උත්සවයකදී මෙම ප්‍රහාරය එල්ල කළ 25ක පමණ මැරයන් අත තුවක්කු හා කඩු පොලුද වූ බවත් සෙනසුරාදා රාත්‍රියේදී මේ ගැටුම වරින්වර ඇවිලී ගිය බවත් කඩ කිහිපයක් හා ගෙයක් පොඩිපට්ටම් කර ඇති බවත් පොලිසිය මැරයන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණිකව ක්‍රියා නොකළ බවත් ගැමියෝ කියති.
කහදූව මාපලගම පාරේ තුංමංහන්දිය ලී කොට හා වාහන දමා අවහිර කළ ගැමියෝ අද (19) උදෑසන සිට පාරටවී පොලිසියට විරෝධය දක්වති. කඩසාප්පුවල තිබූ කෑම බීම මහ පාර පුරා විසිරී ඇත. මැර කණ්ඩායම නාගොඩ පැත්තෙන් එන්නට ඇතැයි ගැමියෝ කියති. මුලින්ම සෙනසුරාදා සවස 4ට පමණ මැර ප්‍රහාරය එල්ලවූ බවත් මග දෙපස නිවාසවල විදුලිය නිවන ලෙස මැරයන් කළ ‘නියෝගය‘ නොතැකූ නිවාසවලට හා කඩසාප්පුවලට පහරදී ඇති බවත් ගැමියෝ කියති. ඇල්පිටිය නාගොඩ හා පිටිගල පොලිසිවලින් අතිරේක බල සේනා කැඳවා ඇත.
මැරයන් දේශපාලන රැකවරණ ලබන්නවුන් බවද ගැමියෝ කියති. උඩුගම, මාපලගම, ඇල්පිටිය, බද්දෙගම, ගාල්ල පෙදෙස්වලට අවුරුදු ගමන් යන වාහන මෙන්ම ජංගම වෙළඳ රථ හා තේ දළු ප්‍රවාහනය කරන ලොරි මහා ට්‍රැක්ටර් පාර දිගට නතර වී ඇත.
































