අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් රෙදිපිළි,එළවළු , සපත්තු,පළතුරු ආදිය ගැනීමට ආ බාල මහලු තරුණ පිරිස් වලින් කොළඹ පිටකොටුව හා තදාසන්න නගරවල කඩසාප්පු හා වීදි අද (5) පිරී ගියේය.
දුම්රියෙන්,බස්රියෙන් ත්‍රීරෝද රථයෙන් හා පෞද්ගලික වාහන වලින් ආ පිරිස් කඩ සාප්පු වල රෙදි තෝරන්නට වූහ. නිමි ඇඳුම් ගැනීම බොහෝ දෙනාගේ උත්සාහය විය.
ඇතැමෙක් රෙදි කඩවලට ගොස් කමිස කලිසම් ආදිය ගැලපේ දැයි ඇඟට තබා බැලුහ. ඇතමෙක් දෑතින් බඩු පුරවාගත් මලු ඔසවාගෙන ගියහ.
තරුණයන් බොහෝ විට පැමිණ සිටියේ තරුණියන් ද සමගය.
ඇතැම් වෙළදුන් පැවසුවේ වෙළදාම සරු බවයි. තවත් වෙළෙන්දෙක් පැවසුවේ මෙදා අවුරුද්දවත් හොදට කන්න පුළුවන්නම් කොච්චර හොඳද කියා ය.
එළවළු මිලට ගැනීමට ආ ජනයාගෙන් මැනිං වෙළඳ පොළද පිරී ගියේය.
විදේශ සංචාරකයෝද පිටකොටුවේ තැන තැන දක්නට ලැබිණි.
මහා සාප්පුවේ මුදලාලිගේ සිට පදික වේදිකාවේ රසකැවිලි විකුණන්නා දක්වා ඉතාම කඩිසර බවක් දක්නට ලැබුණි.
රට පළතුරු බොහෝ විය. ලංකාවේ පලතුරු එතරම් දක්නට නොලැබිණි. මාළුවලට වඩා කරවල මිල ඉහළ ගොස් තිබිණි.