අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුහුණ වැසෙන සේ ලෝගුවකින්  සැරසී පැමිණ අවිස්සාවේල්ල වැවිල කටුවාවිල නිවසක තනිව සිටි වයෝවෘධ කතක් බියකර රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයකු  සිදු කළ වෙඩි තැබීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි 

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ සමරසිංහ ආරච්චිගේ පත්මාවතී නැමැති 66 හැවිරිදි දෙදරු මවකි

නිවස ඉදිරිපිට ඊයේ (20) රාත්‍රී 8ට පමණ පැමිණි නාඳුනන  පුද්ගලයා  අඩි තුන හතරක් පමණ දිගැති ගිනි අවියක් එල්ල කර  වයෝවෘද්ධ කාන්තාවට දොර අරින ලෙස තර්ජනය කර ඇති අතර එලෙස  කෑගසන පුද්ගලයා කවුදැයි සොයා බැලීම සඳහා ඇය ජනේලයෙන් පිටත බැලීමේදී එම පුද්ගලයා දැක ඇතැයි පොලිසිය කියයි

රුපියල් පනස්දාහක් දෙන්න බැරිනම් 20000 දීපන් යනුවෙන් එම පුද්ගලයා දොරට පහර දීමේදී එය විවෘත වේ යැයි බියෙන් දොර අසලට ගොස් එය තදකරගෙන අල්ලා සිටීමේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව එම කාන්තාව තම ඥාතියෙකු ට දුරකථනයෙන් මේ බව පැවසීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ඇයව හොරණ  මූලික රෝහල වෙත ඇතුලත් කර තිබූ බව පොලිසිය කියයි

වෙඩි  ප්‍රහාරය ඇයගේ උදරයේ වම් පැත්තට එල්ල වී ඇති අතර ශල්‍යකර්මයකට ද ලක් කිරීමට පියවර ගන්නා බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි