
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බම්බලපිටිය පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු පන්ති ගුරුවරයකුට පහරදී ඔහුගේ බෙල්ලෙන් අල්ලා කලහකාරී ලෙස හැසුරුණේ යැයි කියමින් පැමිණිලි ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.
ගුරුවරයාගේ බෙල්ලෙන් තදින් අල්ලාගෙන සිටි බව කියන සිසුවා ගුරු භික්ෂුන් වහන්සේලා සහ ගුරුවරුන් කිහිප දෙනකු බලවත් පරිශ්‍රමයක් යොදා මුදා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙහි දී පහර කෑමකට ලක් වූ බව කියන එම සිසුවාද කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාසලේ පන්ති කාමරයක් තුළදී මල්ලිට ගුරුවරුන් පිරිසක් පහර දෙන බව දැනගත් ඔහුගේ 22 හැවිරිදි අයියා පාසලට කඩා වැදී ගුරු භික්ෂුවකට පුටුවක් ඔසවා පහර දීමට තැත් කර ඇති බව කියමින් එම ගුරු භික්ෂුව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
පාසලක ගුරුවරයකු පන්ති කාමරය තුළ උගන්වමින් සිටිය දි සිසුවකු කෑකෝ ගසමින් එම පන්ති කාමරය අසලින් ගමන් කරනවා දුටු ගුරුවරියක එම සිසුවා අල්ලා පහරකෑ ගුරුවරයාට භාරදී ඇතැයි කියති.
ඉස්කෝලේ උගන්වන අවස්ථාවේ එහෙ මෙහෙ යන්නේ ඇයිදැයි කියා ගුරුවරයා විමසූ අවස්ථාවේ මම කොහේ ගියත් උඹට වැඩක් නැහැනෙ යැයි කියා ගුරුවරයාට අතින් පහරක් එල්ල කර ඇති බවට පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිසිය කීය.

