
(උපාලි ආනන්ද)
අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (26) නියෝග කළේය.
ඒ අනුව සැකකාරියට රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් පදිංචි ප්‍රදේශයේ ග්‍රම නිලධාරිවරයාගේ සහතික සමග අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාරියට තවදුරටත් නියෝග කළේය. එසේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යලි රිමාන්ඩ් බාරයට පත් කරන බවද විනිසුරු සමරසිංහ මහතා තරයේ දැන්වීය.
සතියේ සෑම ඉරිදා දිනයකම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා කරන ලෙසටද සැකකරියට නියේග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන සදහා පොලිසියට සහය දක්වන ලෙසටත්, මාර්තු මස 9 වන දින යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝග කළේය. සැකකාරිය විසින් කෲරත්වයට පත් කර ඇති බව කියන දැරියන් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිදු කළ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තා සහ මෙම සිද්ධිය පිළිබදව සිකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටද තවදුරටත් නියෝග කළේය.
මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරියේ අනුරාධපුර අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව වන අමරා වීරසිංහ නැමැති 52 හැවිරිදි කාන්තාවකි. සැකකාර ළමා නිවාස පාලිකාවට එරෙහිව වෙන් වෙන් වශයෙන් බී වාර්තා 11 ක් පොලිසිය අධිකරණයට ගොනු කර තිබී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මුල් බී වාර්තාව මගින් අධිකරණයට සිටියේ අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ දැරියන් පිරිසක් එහි පාලිකාව විසින් කෲරත්වයට පත් කර ඇති බව පොලිසිය සිදු කල මූලික විමර්ශනයේදී අනාවරණ වූ බවයි.
දැරියන් 50දෙදෙනකුගෙන් ඒ පිළිබදව ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද සදහන් කළ පොලිසිය ඉන් දැරියන් 11 දෙනෙකු ලබාදී ඇති ප්‍රකාශවලට අනුව සැකකාර පාලිකාව දැරියන් කෲරත්වයට පත් කර ඇති බව තහවුරු වන්නේ යැයියද කීය. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති යන මහත්මීන්ගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක අලහකෝන් සහ සැරයන් (28163) දයානන්ද යන මහත්වරුන් පෙනී සිටියහ. සැකකාරිය වෙනුවෙන් නීතිඥවරුන් වන කාලිංග රවින්ද්‍ර සහ ඉදුනිල් හෙට්ටිආරච්චි සහ මදාරා විජේසිංහ යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

