අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිට සිව්දෙනෙක් එක්වී පහරදීලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිකරණ නියෝගයක්  ක්‍රියාත්මක කිරීම සඳහා  අලුත්ගම  මොරගල්ල ප්‍රදේශයේ  නිවසකට ගිය  අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු  පොලිස් නිලධාරීන්ට පහරදුන් එකම පවුලේ 4දෙනෙකු  අද(01) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි.

පිරිසගේ පහරකෑමට ලක්වූ අලුත්ගම  පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි දෙකකට  තුවාල  සිදුවී ඇත.

නිවසක් සහිත  ඉඩමක් සඳහා කළුතර දිසා අධිකරණයේ විභාග  වූ නඩුවක භුක්තිය භාර දීම සඳහා  අද  (1)පෙරවරුවේ  පොලිස් නිලධාරීන් එම නිවස වෙත අධිකරණ නිලධාරීන්  සමඟ ගිය අවස්ථාවේදී,  එම පොලිස් නිලධාරීන්ට හා   අධිකරණ නිලධාරීන්ට රාජකාරියට බාධා කළ බවට  ස්ථානාධිපතිවරයාට දැන ගැනීමට ලැබී ඇත. අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන්  නැවතත් එම නිවස වෙත ගිය අවස්ථාවේදී  එකී පිරිස ආවේගශීලීව හැසිරී  ස්ථානාධිපතිවරයාට හා සෙසු නිලධාරීන්ට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන්ට  සහ  අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අධිකරණ අපහාස කිරීමක්  සහ පහරදීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අලූත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.