අලුත් බදු පාර්ලිමේන්තුවට


(අංජුල මහික වීරරත්න)

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

මෝටර් රථ, දුම්වැටි, පැණි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත් සියලුම අයිතම සඳහා වන නිෂ්පාදන බද්ද 2025-01-11 දින සිට ක්‍රියාත්මක වන පරිදි 5.9%කින් වැඩි කරනු ලැබ ඇත. 

එම තීරණය බලාත්මක කරමින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය 2025-01-10 දිනැති අංක 2418/43 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

එසේම, 2025 -01-11 දින සිට බල පැවැත්වෙන පරිදි මත්පැන් සඳහා වන සුරාබද්ද 5.9%කින් වැඩි කර ඇති අතර, ඒ සඳහා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 දරන සුරා බදු නිවේදනය 2025-01-10 දිනැති අංක 2418/42 දරන අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව, ඉහත සඳහන් නියමය සහ සුරාබදු නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.