අලුත් නායකයකුට කාලේ හරි


අනාගත නායකයන් පෙරට පැමිණ රට ඉදිරියට ගෙන යෑමට කාලය එළැඹී ඇතැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවැසීය.

රාජපක්ෂ මහතා එසේ කීවේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පැයක ප්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් ලංකාදීප මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට එරෙහිව තරඟ කරන්නේ ද යනුවෙන් මාධ්‍යවේදියා විමසීය.   

මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ප්‍රශ්නවලින් තෝරාගත් කොටසක් හා ඔහු එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු පහත වේ.

ප්‍රශ්නය - ඔබට නැවත රටේ නායකත්වය ලැබුණහොත් අලුතෙන් මොනවාද කරන්නේ ?

පිළිතුර - කවුරුන් මේ රට පාලනය කළත් රටේත්, වත්මන් හා අනාගත පරම්පරාවලත්  යහපත වෙනුවෙන් නිවැරැදි දේ කළ යුතුයි.

ප්‍රශ්නය - මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කටයුතු කළොත් පක්ෂ අනුශාසක වශයෙන් ඔබ ඔහුට සහයෝගය දෙනවාද ?

පිළිතුර - පක්ෂය ඒ අවස්ථාවේදී ගන්නා තීරණය අනුව මගේ ස්ථාවරයද වෙනස් වෙනවා. 

ප්‍රශ්නය - හම්බන්තොට කර්මාන්ත පුරයට ඔබ විරුද්ධ වීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයා අසතුට පළ කළා ද?

පිළිතුර - ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වී තිබෙනවා.

ප්‍රශ්නය - හම්බන්තොට ඉඩම් විකුණනවාට විරුද්ධ ඔබ සාම්පූර් හි ඉඩම් විදේශිකයන්ට විකුණුවා නේද ?

පිළිතුර - සාම්පූර් සහ නොරෙච්චෝලේ ව්‍යාපෘති ශ්‍රී ලංකාව ආණ්ඩුවට අයත් ව්‍යාපෘති. සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබුණේ ඉන්දියාවෙන්. අපි කිසිදු අවස්ථාවකට ඉඩම් විකුණුවේ නැහැ.

ප්‍රශ්නය - දේශපාලන වාසි සඳහා ස්වාමීන් වහන්සේලා යොදාගන්නා බවට චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ අදහස ?

පිළිතුර - රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම ආගමික නායකයන් ඉදිරියට පැමිණියා. එයත් දේශපාලනයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ. 

ප්‍රශ්නය - ඔබේ චීන සංචාරයේ අරමුණ කුමක් ද? ඔබ චීනයට දුන් පොරොන්දු මොනවාද ? චීනය ඔබෙන් මොනවාද ඉල්ලුවේ ?

පිළිතුර - චීනය සෑමවිටම අපේ මිත්‍රයෙක්. ඔවුන්ගේ සහයෝගය අපි අගය කරනවා. ජනතාව අවතැන් නොකරමින්, පරිසරයට හානි කරමින් මුල් ගිවිසුමට අනුව හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි මං ඉල්ලා සිටියා.

ප්‍රශ්නය - විල්පත්තුවේ වන සංහාරයක් වන බවට චෝදනා එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?

පිළිතුර - සංවර්ධනය හෝ යළි පදිංචි කිරීම පරිසරය විනාශ කිරීම කිසිසේත්ම නොකළ යුත්තක්. 

ප්‍රශ්නය - ඔබේ  සහෝදරයෙක් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසෙනවා. එය ඇත්තක් ද ?

පිළිතුර - ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරන ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට හේතු මොනවාදැයි හඳුනාගත්තා ද ?

පිළිතුර - ඔව්, හේතු රැසක් තිබෙනවා. අපි ඒ පිළිබඳ විශ්ලේෂණය කළා. අපි අනාගතයට සූදානම්. 

ප්‍රශ්නය - ඔබ නැවත බලයට පැමිණීමට සූදානම් ද ? ඒ සඳහා පියවර ගන්නේ කවදාද ? 

පිළිතුර - ජනතාව සූදානම් නම්, එය ඉතා ඉක්මනින් සිදුවේවි. 

M-rajapakse-adn-harshana-thushara-silva