අලි වැට මොඩ් වෙයි


(අංජුල මහික වීරරත්න සහ සනත් ගමගේ)

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත්  ව ඇති අලි - මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක්  නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එලිමහන් කදවුරේ ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය නිමකර බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට බාරදීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

පෞද්ගලික අංශයේද සහය ඇතිව ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය කිලෝ මීටර් 3.8 ප්‍රමාණයක් දක්වා විහිදෙන අතර අලි වැටේ උස අඩි 16 කි.මෙහි කණු පෙර සවි කොන්ක්‍රීට් තාක්ෂණයෙන් සංවර්ධනය කර මෙහි විශේෂත්වයන් කිහිපයක් දක්නට ලැබෙන අතර අලි වැට පද්ධතියට යම් හානියක් හෝ දෝෂයක් සිදු වු විට එහි හිමිකරුට කෙටි පණිවිඩයකින් දැනුම් දීමක් සිදු වේ. අලි වැටේ වාර්තා නිරීක්ෂණය කිරිමට හා විශ්ලේෂණය කිරිමට වෙබ් පිටුවක් ද නිර්මාණය කර ඇත. 

මෙරට දැනට පවතින අලි වැට පද්ධතීන් ඉතා පහසුවෙන් අලින් විසින් කඩා බිද දමන අතර මෙම අලිවැට පද්ධතියට අලින්ට ප්‍රහාර එල්ල කිරිමේ හැකියාවද  අවමය. 

මින් පෙර මෙරට අලි වැට පද්ධතීන් සදහා  විදේශ රටවලින් ආනයනය කරන ලද තාක්ෂණික උපකරණ භාවිත කළ අතර ඒ සදහා වාර්ෂිකව විශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කෙරේ.

මෙම අලි වැට පද්ධතියේ  විද්‍යුත් එනජයිසරය රුපියල් ලක්ෂයකට අවම මුදලකින් නිපදවා ඇති අතර මින් පෙර මෙවැනිම එනජයිසරයක් රුපියල් ලක්ෂ 5 පමණ වියදම් කර මෙරටට ගෙන්වා තිබේ.

මෙම පද්ධතිය දේශිය උපකරණ, තාක්ෂණය හා මානව සම්පතින් ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව නිර්මාණය කර ඇතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියයි.