ඉදිරි මැතිවරණයේ දී අලියා ලකුණෙන් නොව අලි නැට්ටෙන් ඉල්ලූවද එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ පරාජය වේය යන බියෙන් නොව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු නිසා යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඒකාබද්ධ විපක්ෂයට බියවීමේ අවශ්‍යතාවයක් එ.ජා.පයට නැතැයි කී මන්ත්‍රීවරයා ඔවුන්ට දේවාල ගානේ පොල් ගසා ගොඩ යන්නට උත්සාහ කළත් එය ඉටුවන්නේ නැති බව ද කීවේය.
‘උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් මාසයක දී ආරම්භ කරනවා.කඩවත සිට මහරගම දක්වා ඉදිකිරිම් චීන සමාගමකටත්, මීරිගම සිට පොතුහැර ආසියානු සංවර්ධන බැංකුවටත්, පොතුහැර සිට ගලගෙදර දක්වා දේශිය සමාගම් වලටත් ලබාදෙන බව’ ඔහු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රජය ජනතාවට හොරෙන් කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථීක හා තාක්ෂණ ගිවිසුම ද අත්සන් කිරීමට පෙර ජනතාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නලීන් බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එබැවින් මෙම ගිවිසුම ගැන බොරු බිල්ලන් මවා පාමින් රට තුළ ප්‍රශ්න ඇතිකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු කීවේය.
(ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක)



