අල්ලස් ලොක්කාගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක්


(සුජිත් හේවාජුලිගේ)

අල්ලස දූෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරින් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවෙනි වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.

මෙම රැස්වීම කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (4) පැවැත්විණ.

වැරදි කරන මිනිසුන්  දඬුවම් දී සෑදිය හැකි යැයි ලෝකයේ කිසිම රටක් විශ්වාස නොකරන බවත් සියල්ල නිවැරදි වීමට නම් ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අල්ලස අද එච්චරටම රටේ සාමාන්‍යකරණයවී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

අමාත්‍ය මණ්ඩල තීරණයට ඕනම දෙයක් කළ හැකි යැයි රාජ්‍ය සේවකයන් සිතාගෙන සිටිනවා නම්  එය වැරදි බවත් අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙන තියෙන්නේ දූෂිත මානසිකත්වයෙන් නම් ඒවා  නිත්‍යානුකූල නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

බෙහෙත් හා පොහොර වලට අදාල නඩු සියල්ලට ද  කැබිනට් පත්‍රිකා තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

සද්භාවයෙන්  කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට කිසිවිටෙක ගැටලු ඇති නොවන බවත් දේශපාලනඥයන් කියන කියන දේවල් නොකරන රාජ්‍ය සේවයක් ඇති කරගත යුතු බවත් රංග දිසානායක මහතා පැවසීය