(මනෝප්‍රිය ගුණසේකර)
නීතී විරෝධී සිගරට් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 40.000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි සුරාබදු නියාමතවරුන් දෙදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියම කළේය.
මීට වසර 15කට පෙර කළ බවට විත්තිකාර සුරාබදු නියාමතවරුන් දෙදෙනාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මතු කළ සැකයක් පිළිගනිමින් සියලු චෝදනාවලින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
මෙලෙස සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ අනුරාධපුර සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සුරාබදු නියාමතවරුන් වන සුසන්ත කුමාර සහ තුසිත කුමාර සේමසිංහ බණ්ඩාර නමැත්තන්ය.
2010 ජුලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී නීතී විරෝධී සිගරට් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 50.000/-ක අල්ලසක් ඉල්ලා රුපියල් 40.000/-ක් ලබාගත් බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 08ක් යටතේ අල්ලස් කොමිසම නඩු පවරා තිබිණී.