අල්ලස් චෝදනාවට මාරුකළ එස්.අයි. පැය 12න් හිටපු තැනටම


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මැණික් පතල්කරුවන් ගෙන් අල්ලස් ලබාගන්නා බවට පැමිණිලි ලැබී තිබු රත්නපුර පොලිස් අධිකාරි කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු එම කොට්ඨාසයේම වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා පැය 12ක් ගතවීමටත් පෙර උසස් පොලිස් නිලධාරියකුගේ මැදිහත්වීම මත එම උප පොලිස් පරීක්ෂකවරයා කලින් සේවයකළ පොලිස් ස්ථානයටම නැවත පත්කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු හෙළිකළ අන්දමට සිද්ධිය මෙසේය.

රත්නපුර පොලිස් අධිකාරි කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක රාජකාරිකරන උප පොලිස් පරීක්ෂකවරයකු එම පොලිස් බලප්‍රදේශයේ පිහිටි ඇතැම් මැණික්පතල් හිමිකරුවන්ගෙන් අල්ලස්
වශයෙන් මුදල් ඉල්ලා කරදර කරන බවට පතල් හිමිකරුවන් ගණනාවක්ම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලිකර ඇත.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඔහු රාජකාරිකරන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට සහ සබරගමුව පළාතේ නොවන පොලිසියේ ඉහළම තනතුරක් දරණ උසස් නිලධාරියකුට ලබාදීම සඳහා යැයි කියමින් මෙසේ අල්ලස් මුදල් ඉල්ලන බවටද මැණික්පතල් හිමිකරුවන් වැඩිදුරටත් පැමිණිලිකර ඇතිබව පොලිස් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා අදාළ උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කළ පොලිස් ස්ථානයෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා ඔහු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන ගොස් ඇත. 

ස්ථානමාරුකර යැවූ උප පොලිස් පරීක්ෂකවරයා තමා මාරුකර යවා ඇති බව ඉහළම තනතුරක් දරණ උසස් පොලිස්
නිලධාරියකුට දැනුම්දීමෙන් පසු එම උසස් නිලධාරියා ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුට දුරකතනයෙන් කතාකර ඔහු (උප පොලිස් පරීක්ෂක) අහිංසකයෙකු බව කියා එම ස්ථානමාරුව වහාම අවලංගුකරන ලෙස නියෝගකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

එම නියෝගයට අනුව උප පොලිස් පරීක්ෂකවරයාට පැය 12 ක් ගතවෙන්නට පෙර ආපසු ඔහු රාජකාරිකළ පොලිස් ස්ථානයටම පැමිණීමට හැකිවී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.