(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අම්පාර ,දමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට එරෙහිව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සාවද්‍ය පරිහණය කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට වාසි සහගත වන ආකාරයට අධිකරණයට කරුණු වාර්තා කිරීමට සහ පෞද්ගලික සමාගමකින් මෙම පුද්ගලයාට ලැබිය යුතු මුදලක්අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට යැයි කියා එම පුද්ගලයා ගෙන් මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අදාළ පුද්ගලයා මේ බව කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු දමන වරිපතන්චේන ප්‍රදේශයේ දි වැටලීමක් සිදුකර අදාල මුදල අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අවස්ථාවේදී සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිසමේ එම උසස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන් සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

