අල්ලස් ගත් පොලිස් සැරයන්ට බරපතල වැඩ ඇති සිරදඬුවමක්


(මනෝප්‍රිය ගුණසේකර)

සොරකමකට රිමාන්ඩ් බාරයට පත් කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකුට වසර 3 ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (25) නියම කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 5,000/-ක දඩයක් ද අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 20,000/-ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර මාස 04ක සිරදඬුවමකටද විත්තිකරු යටත් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකු ලෙස සේවය කළ ගාමිණි විජේසුරිය නමැත්තාටය.

2013 මැයි මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කැබතිගොල්ලෑවේදී කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කරමින් සොරකමකට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලිලන්ද ජයසේන නමැත්තාට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා ඔහුගේ මවගෙන් අවස්ථා දෙකකදී රුපියල් 35,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 20,000/-ක අල්ලසක් ලබාගත්  බවට චෝදනා හයක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමසම නඩු පවරා තිබිණි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා 06න් පහක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව පමණක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් ඔහු අදාළ චෝදනාවට වරදකරු බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ මේනකා මුණසිංහ මෙනවිය කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.

අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ මේනකා මුණසිංහ මෙනවිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.