අල්ලස් කොමිසමේ ඩී.ජී අස්වෙයි


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

මෛත්‍රීපාල සිරිසේන ජනපති අල්ලස් කොමිසමට පසුගියදා බරපතල චෝදනා එල්ල කළේය.

ඇගේ ඉල්ලා අස්වීමට හේතුව අල්ලස් කොමිසමේ කටයුතු ජනපති දැඩි ලෙස විවේචනය කිරීමදැයි විමසීමට අධ්‍යක්ෂ ජනරාල්වරිය සම්බන්ධ කර ගැනීමට උත්තාහ කළත් එය අසාර්ථක විය.

ස්වාධීන කොමිසමක වුවද අධ්‍යක්ෂ ජනරාල්ලා පත් කරන්නේ තමා බැවින් කොමිසමේ කටයුතු ගැන තමා දැනුම්වත් කළ යුතු බව ජනපති පසුගිය දා කියා තිබිණි. ජනපතිගේ එම ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් දැඩි විවේචන එල්ල විය.

නීතිපති දෙපාර්තමේන්තුවේ කාලයක් වැඩ කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් කීවේ ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම හා අල්ලස් දීම සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි. 

පසුගිය වකවානුවේ අල්ලස් කොමිසම මේ ආණ්ඩුවේ ද ඇමැතිවරයකු වන ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහිව චෝදනා ගොනු කළ අතර ඊට ජනපතිගේ පාර්ශ්වයෙන් නොසතුට පළ වූ බව දැනගන්නට ඇත.

හිටපු ආරක්ෂක ලේකම්ට, හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුට, හිටපු නාවික හමුදාපතිවරුන් කිහිප දෙනකුට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.

සබැඳි පුවත් 

‘රාජපක්ෂ පවුලේ ෆයිල් යට ගසා නෑ‘

14628270_1416625605033027_118299900_n

(දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය  ජනපතිගෙන් පත්වීම් ලිපිය ලැබූ දා)