අල්ලස් කොමිසම වැඩට බසී


මේ වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් තිදෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ආරංචි මාර්ග කියයි.

එම පැමිණිලි අනුව මේ වන විට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පස් දෙනකුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත, සංචාරක ප්‍රවර්ධන කාර්යශයේ හිටපු කළමනාකර අධ්‍යක්ෂ රූම් ජවුෆර් එම රාජ්‍ය නිලධාරීහුය. ඊට අමතරව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ද ගුවන් ගමන් බලපත්‍ර තහනම් කරනු ලැබ ඇත.

ඔවුන් සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් කර නැතැයි ද, විමර්ශන අවසන් වූ පසු නඩු පැවරීම බලාපොරොත්තු වන බව ද කොමිසම පවසයි.

තවත් දේශපාලනඥයන් පිරිසක් ළඟදීම කොමිසමට කැදැවීමට නියමිතය.