අරුණගේ විශ්වාසභංගය ගැන අද තීරණයක්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද(21)  අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පැවැත්වේ. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එම විශ්වාස භංගය සම්බන්ධයෙන් තීරණය තමා සභාවට පසුව දැනුම් දෙන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් පැවරී නැති හෙයින් එවැනි අයෙකුට විශ්වාසභංග  යෝජනාවක් ගෙනා නොහැකි බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු  තර්ක කරති. මේ අතර එම විශ්වාසභංග  යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වී සාකච්ඡා කළ බව ආරංචි මාර්ග සඳහන් කළේය.