අරාබි කතරේ හෙයියන් මාරුව නිම නොවේ


සෞදි අරාබිය විසින්  අනවසරික  විදේශිකයින්  සදහා ලබා දෙන  පොදු සමා කාලයට සමගාමීව  තාවකාලික ගමන් බලපත්‍ර  සහ අලුත්  සේවා යෝජකයකු  සොයා රැකියාව කිරීම සදහා  අලුත් ගමන් බලපත්‍රයක්  ලබා ගැනීමට ජෙඩා නුවර කොන්සියුලර්  කාර්යාලයට  පැමිණෙන  බෝහෝ ශ්‍රී ලාංකිකයින්ට  විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වේ.

ඇතැම් කොන්සියුලර් නිලධාරීන්ගේ  බැන වැදීම් ,පළවා හැරීම් වැනි  අසාධාරණ සිදුවීමි  වලට ලක් වන ශ්‍රමිකයින්  දින ගණන් එක දිගට  කොන්සියුලර් කාර්යාලයට පැමිණ තොරතුරු විමසුවද  කිසිදු තොරතුරක් ලබා නොදෙන අතර  වැඩි විස්තර විමසීමේදී  පරුෂ වචනයෙන් බැන වැදී පලවා හරින බවද වාර්තා වේ.

විශේෂයෙන්ම වීසා මාරු කර ගනිමින්  නව සේවායෝජකයකු වෙත රැකියාව කිරීම සදහා  අදාලව අලුත්  ශ්‍රී ලංකා  ගමන් බලපත්‍රයක් සදහා  ශ්‍රී ලංකා ජාතික හැදුනුම්පතෙහි  පිටපතක් , පරණ ගමන් බලපත්‍රයේ පිටපතක්  හා උප්පැන්න සහතිකයේ  පිටපතක්  අවශ්‍ය වන බව  පවසන නිලධාරීන්  එම සහතික ඇත්නම්  පමණක් සෞදි රියාල්  750 මුදලක් (රුපියල් 24000)  අයකරන අතර  එම ලියකියවිලි සන්තකයේ නොමැති නම්  සෞදි රියාල් 850 (රුපියල් 25000) ක් අය කරන  අතරම  දින තුනක කාලයක්  අවශ්‍ය බවද කියති.

 මෙම හේතුව මත  අවතැන් වුවන් හට දින ගණන් ගිනි අව්වේ  කොන්සියුලර් කාර්යාලය අවට රැදී සිටීමට සිදු වෙතියි කියති. 

මේ හේතුව මත කාන්තාවන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇත.විශේෂයෙන්ම විසා මාරු කර ගනිමින් අලුත්  සේවායෝජකයකු  යටතේ රැකියාව කිරීමට බලාපොරොත්තු වන අයකුට මෙපමණ  විශාල මුදක්  ගමන් බලපත්‍රය සදහා  ගෙවීමට  සිදුවීම  බරපතල අසාධාරණයක් බව ඔවුහු කියති.

ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඔවුන්ගේ ප්‍රජාව සදහා  වසරක ගමන්බලපත්‍රයක්  නිකුත් කිරීමට අයකරනු ලබන්නේ  සෞදි රියාල් 52 (රුපියල්1600) බවද වාර්තා වේ.