අර්ජුන් මහේන්ද්‍රන් ණය දෙපාර්තමේන්තුවටත් ගිහින්


(මනෝප‍්‍රිය ගුණසේකර,  රංජන් කටුගම්පොළ)

බැඳුම්කර නිකුතුව සිදු වන අවස්ථාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අර්ජුන් මහෙන්ද්‍රන්  බැඳුම්කර නිකුතුව සිදු වු රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ කාර්යාලයට පැමිණියේ යැයි ද මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයකු කිසිම දිනෙක බැඳුම්කර නිකුතුවක් සිදු වන අවස්ථාවේදී එම කාර්යාලයට පැමිණ නැතැයි ද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානිය ලෙස දීර්ඝ කාලයක් සේවය කළ නානායක්කාර මහතා මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවීමට ආසන්න කාලයේදී එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට සෙනෙවිරත්න මහත්මිය පත් කළේ යැයි පැවසු ආචාර්ය ආර්ෂින් මහතා මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා සෙනෙවිරත්න මහත්මියගේ නිල කාමරයට පැමිණ බැඳුම්කර වෙන්දේසියට අදාළ තොරතුරු විමසා සිටියේ යැයිද වැඩිදුරටත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම බැඳුම්කර ගනුදෙනුවට අදාළ සාක්කි දෙමින් ආර්ෂින් මහතා එසේ පැවසීය.