අර්ජුන් ඇලෝසියස් හා මහේන්ද්‍රන් ඥාතීන් බව දැන සිටියේ නැහැ - ණය දෙපාර්තුමේන්තුවේ අධිකාරී


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

 

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ  අර්ජුන් ඇලෝසියස් මහතා එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ ඥාතීයෙකු බව   මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරීවරයා ලෙස කටයුතු කරද්දී නොදැන සිටි බවත් තමන් ඒ බව දැනගෙන හිටියා නම්  ඒ බව ඉහළ කළමණාකාරීත්වයට දැනුම් දෙන බවත් බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී රාජා ධම්මික නානායක්කාර මහතා අද (14) පැවසීය.

මහ බැංකු අධිපතිවරයාගේ ඥාතිවරයෙක් ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස කටයුතු කිරීම හොඳ දෙයක් නොවන බවත් මහ බැංකු අධිපතිවරයාගේ ඥාතිවරයෙක් ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස කටයුතු කිරීම නොවිය යුතු දෙයක් බවත් පැවසු ධම්මික නානායක්කාර මහතා හිටපු මහ බැංකු අධිපතිවරයකු වු අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ සහෝදරියක පර්පචුවල් කැපිටල් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කළාදැයි විමසු ප‍්‍රශ්නයකට පැහැදිලි පිළිතුරක් ලබා නුදුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කර ඇත.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ණය අධිකාරී නානායක්කාර මහතා මෙසේද කීය.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා-සාමාන්‍යයෙන් බැදුම්කර අලෙවියකදී  විශ්වාසය තබන්නේ ඵලදායිතා අනුපාතය ගැන නේද?

පිළිතුර-ඔව්.

ප්‍රශ්නය- 46 ඒ ලෙස ලකුණු කරමින් ඉදිරිපත් කළ ලේඛණයේ සඳහන් වන්නේ එම ඵලදායිතා අනුපාතය ගැන නේද?

පිළිතුර-. ඔව්. එම ඵලදායිතා අනුපාත ලේඛණයේ සඳහන් වන්නේ සමහර කරුණු පමණයි.

ප්‍රශ්නය- ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආයෝජන බාර ගන්නේ කුමනාකාරයකින්ද?

පිළිතුර- මුලින් පැමිණි ආයෝජන මුලින් බාර ගැනීමේ ක‍්‍රමවේදය අනුව.

ප්‍රශ්නය- මෙම අනුපාතය පිළිබඳව ණය අධිකාරීවරුන්ට යම් අභිමතානුසාරී බලයක් තිබුණද?

පිළිතුර- මගේ කාලයේදී නම් තිබුණා දැන්නම් සීමා සහිතයි.

ප්‍රශ්නය- ඝෘජු ස්ථානගත ක‍්‍රමවේදයේදී ඵලදායිතා අනුපාතය ප‍්‍රසිද්ධ කරනවාද?

පිළිතුර- ඔව්. අපි ඵලදායිතා අනුපාතය ප‍්‍රසිද්ධ කරනවා.

ප්‍රශ්නය- මෙම ඵලදායිතා අනුපාතය ගණනය කරන්න සුත‍්‍රයක් තියෙනවාද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- ප‍්‍රාථමික ගැණුම්කරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ණය අධිකාරීවරයාද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- ඔබේ කාලයේදී ප‍්‍රාථමික ගැණුම්කරුවන්ට බලපත‍්‍ර දුන්නාද?

පිළිතුර-. ඔව්. හොංකොං ඇන්ඞ් ෂැංහයි බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යුනියන් බැංකුව සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට බලපත‍්‍ර ලබා දුන්නේ මගේ කාලයේදීයි.

මේ අවස්ථාවේදී සාක්කිකරුට ලේඛණයක් පෙන්වන ලදී.

ප්‍රශ්නය- සී.55 දරණ මෙම ලේඛණය කුමක්ද?

පිළිතුර- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස බලපත‍්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ඇයැදුම් පත.

ප්‍රශ්නය- ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස බලපත‍්‍ර ලබා ගැනීම සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ඉදිරිපත් කළ ඇයැදුම් පත අත්සන් කර ඇත්තේ කව්රුන්ද?

පිළිතුර- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයා හැටියට අර්ජුන් ඇලෝසියස් මහතා.

මේ අවස්ථාවේදී සාක්කිකරුට තවත් ලිපියක් පෙන්වූ අතර එම ලිපිය යූනියන් බැංකුව එවු ලිපියක් බව සාක්කිකරු කොමිසම හමුවේ කියා සිටියේය.

ප්‍රශ්නය- යුනියන් බැංකුව එවූ මෙම ලිපියේ දැක්වෙන්නේ කුමක්ද?

පිළිතුර- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මුුල්‍ය ස්ථාවරය සහතික කිරීමක්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම කියන්නේ සමාගම් සමූහයක්ද?

පිළිතුර-. ඔව්.

ප්‍රශ්නය- අර්ජුන් ඇලෝසියස් මහතා ගැන යුනියන් බැංකුව එවු මෙම ලිපියේ සඳහන් වන්නේ කුමක්ද?

පිළිතුර- ඔහු පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා බව සහ ඞී.එෆ්.සී.සී. සමාගමේ අධ්‍යක්‍ෂකවරයකු බව එහි සඳහන් වෙනවා.

මේ අවස්ථාවේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩල තීරණයක් ඇතුළත් ලේඛණයක් කෙරෙහි සාක්කිකරුගේ අවධානයට යොමු කරවන ලදී.

ප්‍රශ්නය- මෙම ලේඛණයේ සඳහන් වන්නේ කුමක්ද?.

පිළිතුර- මෙම පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩල තීරණයට අනුව ඔවුන් 2016 වසරේදී විශාල මුල්‍ය ප‍්‍රමාණයක් ආයෝජනය කර තියෙනවා.

ප්‍රශ්නය- ඒ අනුව ඔවුන් යම් ලාබයක් බලාපොරෙත්තු වෙනවාද?

පිළිතුර- ඔව්. ඔවුන් 2016 වසරේදී රුපියල් මිලියන 116ක ලාබයක් අපේක්‍ෂා කර තියෙනවා.

මේ අවස්ථාවේදී තවත් ලෙඛණයක් පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරන ලදී.

ප්‍රශ්නය- මෙම ලේඛණයට අනුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ ව්‍යුහය පැහැදිලි කරන්න.

පිළිතුර- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් පෞද්ගලික සමාගම, පර්පචුවල් කැපිටල් හොල්ඩින්ස් සමාගම සහ පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගම යන සමාගම්වලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ ව්‍යුහය සකස් වී තියෙනවා.

මේ අවස්ථාවේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නීතිඥවරයා ඇමතූ සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහය පිළිබඳ මුල්‍ය ප‍්‍රවාහ විස්තර ඇතුළු සියලුම විස්තර කොමිසමට ලබාදෙන ලෙස නියම කළේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා එම ලේඛණ කොමිසමට ඉදිරිපත් කිරීමේ වගකීම තමන් බාර ගන්නා බව දැනුම් දුන්නේය.

ප්‍රශ්නය- ප‍්‍රාථමික ගැණුම්කරුවන් පාලනය කරන රෙගුලාසි තියෙනවාද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- ප‍්‍රාථමික ගැණුම්කරුවන් පාලනය කරන රෙගුලාසියේ 12(3) වගන්තියේ සඳහන් වී ඇත්තේ කුමක්ද?

පිළිතුර-. ප‍්‍රාථමික ගැණුම්කරුවන් පාලනය කරන රෙගුලාසියේ 12(3) වගන්තියෙන් කියැවෙන්නේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් පාලනය කරන රෙගුලාසි උල්ලංඝණය කරනු ලැබුවහොත් එම ප‍්‍රාථමික ගැණුම්කරුගේ බලපත‍්‍රය මාස 06ක කාලයකට අත්හිටුවීමට හෝ එම ප‍්‍රාථමික ගැණුම්කරුගේ බලපත‍්‍රය අවලංගු කිරීමට හැකි බවයි.

ප්‍රශ්නය- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ ඥාතීවරයෙක් බව ඔබ දන්නවාද?

පිළිතුර-මා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරීවරයා ලෙස කටයුතු කළ සමයේ ඒ බව මා දැනගෙන හිටියේ නැහැ.

ප්‍රශ්නය- ඒ තත්වය ඔබ දැනගෙන හිටියා නම් කුමක් කරනවාද?

පිළිතුර- මා එය ඉහළ කළමණාකරණයට දැනුම් දෙනවා.

ප්‍රශ්නය- ඒ බව ඔබ ඉහළ කළමණාකරණයට දැනුම් දෙන්නේ ඇයි?

පිළිතුර- මහ බැංකු අධිපතිවරයාගේ ඥාතීවරයෙක් ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස කටයුතු කිරීම හොද දෙයක් නොවන නිසා.

ප්‍රශ්නය- ඒ සම්බන්ධයෙන් ඔබගේ පෞද්ගලික අදහස කුමක්ද?

පිළිතුර-. මහ බැංකු අධිපතිවරයාගේ ඥාතීවරයෙක් ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස කටයුතු කිරීම නොවිය යුතු දෙයක් බවයි.

මේ අවස්ථාවේදී මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී ධම්මික නානායක්කාර මහතාගේ අවධානය කෝප් කමිටු වාර්තාව වෙත යොමු විය.

ප්‍රශ්නය- මෙම වාර්තාව කුමක්ද කියා ඔබ දන්නවාද?

පිළිතුර-. ඔව්. මෙය 2016 ජුනි 29 දිනැති කොප් කමිටු වාර්තාව.

ප්‍රශ්නය- එහි 1060 වැනි පිටුවේ කුමක්ද සඳහන් වන්නේ?

පිළිතුර- එම කෝප් කමිටුවේදී එහි සාමාජිකාවක වු රෝසී සේනානායක මහත්මිය එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් කළ විමසීමක් ගැන එහි සඳහන් වී තියෙනවා.

ප්‍රශ්නය- රෝසි සේනානායක මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් මොනවද විමසා තියෙන්නේ?

පිළිතුර-  ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ සහෝදරියක පර්පචුවල් කැපිටල් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස කටයුතු කර  තියෙනවාද කියලා.

ප්‍රශ්නය- පර්පචුවල් කැපිටල් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ සහෝදරියගේ නම කුමක්ද?

පිළිතුර- ශිරාණී වික‍්‍රමසිංහ මහත්මිය.

ප්‍රශ්නය-  රෝසි සේනානායක මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් විමසු පැණයට ඔහු ලබා දී තිබු පිළිතුර කුමක්ද?

පිළිතුර- ඔහු පැහැදිලි පිළිතුරක් ලබා දී නැහැ.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී රාජා ධම්මික නානායක්කාර මහතා මෙසේද කීය.

ප්‍රශ්නය- 2012 වසරේ මැයි 08 වැනිදා බැදුම්කර වෙන්දේසියක් පැවැත්වූවාද?

පිළිතුර-. ඔව්.

ප්‍රශ්නය- ඒ වෙනකොට රජයට අවශ්‍යව තිබු මුදල කොපමණද?

පිළිතුර- රුපියල් බිලියන එකක මුදලක්.

ප්‍රශ්නය- නමුත් එම වෙන්දේසියේදී කොපමණ මුදලක් ලබාගෙන තියෙනවාද?

පිළිතුර- රුපියල් බිලියන 05ක්.

ප්‍රශ්නය- එය විශේෂිත සිදුවීමක් නේද?

පිළිතුර- ඔව්. එය ප‍්‍රදානය කළ මුදලට වඩා පස් ගුණයක වැඩියෙන් නිකුත් කිරීමක්.

ප්‍රශ්නය- මෙලෙස වැඩියෙන් නිකුත් කිරීමට යම් හේතුවක් සඳහන් කරන්න පුළුවන්ද?

පිළිතුර-. ඵලදායිතා අනුපාතය දිගින් දිගට ඉහළ යෑම වළක්වා ගැනීම සඳහාමෙලෙස වැඩියෙන් බැදුම්කර නිකුත් කර තියෙනවා. එසේ නොකළා නම් රජයට පාඩු සිදුවීමට ඉඩ තිබුණා.

ප්‍රශ්නය- 2012 වසරේ මැයි 11 වැනිදා තවත් බැදුම්කර වෙන්දේසියක් පැවැත්තුවාද?

පිළිතුර-. ඔව්.

ප්‍රශ්නය- ඒ වෙද්දී රජයට අවශ්‍යව තිබු මුදල කොපමණද?

පිළිතුර- රුපියල් බිලියන දෙකක මුදලක්.

ප්‍රශ්නය- නමුත් එම වෙන්දේසියේදී කොපමණ මුදලක් ලබාගෙන තියෙනවාද?

පිළිතුර- රුපියල් බිලියන 7.4ක්.

ප්‍රශ්නය- එය විශේෂිත සිදුවීමක් නේද?

පිළිතුර- ඔව්. එයත් විශේෂිත අවස්ථාවක්.

ප්‍රශ්නය- මෙලෙස වැඩියෙන් නිකුත් කිරීමට යම් හේතුවක් සඳහන් කරන්න පුළුවන්ද?

පිළිතුර-. ඵලදායිතා අනුපාතය ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා.

ප්‍රශ්නය- ඔබගේ කාලයේදීත් ප‍්‍රදානය කළ බැදුම්කරවලට වඩා නිකුත් කිරීම් කළාද?

පිළිතුර-. නැහැ.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන්  නානායක්කාර මහතා මෙසේද කීය.

ප්‍රශ්නය- සාමාන්‍යයෙන් බැදුම්කර නිකුත් කිරීමකට පෙර නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයේ අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් පණතේ සඳහන් වෙනවාද?

පිළිතුර- ඔව්. එම පණතේ 4(1) වගන්තියේ ඒ බව දැක්වෙනවා.

ප්‍රශ්නය- 2012, 2013, 2014 සහ 2015 දරණ සියලුම ගැසට් නිවේදන අදාළ පණතේ 4(1) වගන්තියට පටහැනියි නේද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- මේ සිදුවීමෙන් පසුව බැදුම්කර වෙන්දේසි කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් බිය වු බව ඔබ කීවා නේද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- එලෙස රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් බිය වුයේ ඇයි?

පිළිතුර- රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියෙක්ම වාගේ බිය වුණා. ඊට පසු ඔවුන් හැකි පමණ ප‍්‍රවේශමෙන් වැඩ කළා.

ප්‍රශ්නය- 2015 පෙබරවාරී 27 වැනිදා ඇති වු සිද්ධිය මුල්‍ය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් අයහපත් ලෙස බලපෑවාද?

පිළිතුර- ඔව්. මුල්‍ය වෙළෙඳ පොළේ අයහපත් තත්වයක් උද්ගත වන බව විද්‍යාමාන වුණා.

ප්‍රශ්නය- මේ තත්වය පැහැදිලි කරන්න?

පිළිතුර-. ද්‍රවශීලතාව සීග්‍ර ලෙස ඉහළ ගියා. පළදායිතාවය ඉහළ ගියා. තැන්පතුකරුවන් දීර්ඝ කාලීන ආයෝජනවල යෙදීමට අදිමදි කළා. ඒ වාගේම බැදුම්කර වෙන්දේසි සඳහාව්‍යාජ ලංසු බහුල ලෙස ඉදිරිපත් කළා.

ප්‍රශ්නය- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ උප සමාගමක්ද?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මුල්‍ය ස්ථාවරය බලලද ඔවුන්ට ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස බලපත‍්‍රය ලබා දුන්නේ?

පිළිතුර- ඔව්.

ප්‍රශ්නය- පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම කොපමණ වත්කමත් පෙන්නුවද?

පිළිතුර- රුපියල් බිලියන 300ක මුල්‍ය ස්ථාවරයක් ඔවුන් පෙන්නුවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා- එම රුපියල් මිලියන 300ක මුදල තැන්පත් කර තිබුණේ කුමන අන්දමේ ගිණුමකද?

පිළිතුර- ජංගම ගිණුමක.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ජංගම ගිණුමක ඇති මුදල්  ඕනෑම අවස්ථාවක ඉවත් කර ගැනීමට හැකියාව තියෙනවා නේද?

පිළිතුර- ඔව්.

සභාපති විනිසුරු චිත‍්‍රසිරි මහතා- එම රුපියල් මිලියන 300ක මුදල ණයට අරගෙන ජංගම ගිණුමක දාලා පෙන්වීමට අවශ්‍ය නම් කෙනෙකුට හැකියාව තියෙනවා නේද?

පිළිතුර-. ඔව්.

ප්‍රශ්නය- පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගම වෙනත් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර තිබුණද?

පිළිතුර- ඔව්. පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගම රේණුකා හෝටල් සමුහයේ මුදල් ආයෝජනය කර තිබුණා.

ප්‍රශ්නය- පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගම කොපමණ මුදලක් රේණුකා හෝටල් සමුහයේ ආයෝජනය කර  තිබුණාද?

පිළිතුර- රුපියල් මිලියන 310.7 ක මුදලක් ආයෝජනය කර  තිබුණා.

ප්‍රශ්නය- රේණුකා හෝටල් සමුහය සමඟ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ සම්බන්ධතාවය තිබු බව ඔබ දන්නවාද?

පිළිතුර-. ඔව්.

වැඩිදුර සාක්කි විමසීම අද (15) දක්වා කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහාඅතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝ්දාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්යඅවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතිඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා යන මහත්ම මහත්මීහු සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහාසහය ලබා දෙති.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහාපත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.