
(රෝෂන් තුෂාර)
හිටපු අමාත්‍යය අර්ජුන රණතුංග මහතා සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්තාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය.
රටට අවශ්‍ය ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රුපියල් මිලියන 800ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම කරුණු ඉදිරිපත් කළේය.
සභාපති ධම්මික රණතුංග මහතා පළමු සැකකරු ලෙසත්,දෙවැනි සැකකරු ලෙස අර්ජුන රනතුංග මහතා නම් කරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා සිටියේය.
අර්ජුන රණතුංග මහතා විදේශගතව ඇති බැවින් අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් දන්වා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් විමර්ශනයන්ට සහාය දක්වන සිය සේවා දායකයා ඇප පනත ප්‍රකාරව මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට තරයේ අවවාද කළේය. සැකකරු ද්ත්ව පුරවැසියකු බැවින් විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.

